March 6, 2025

කැලණිය ප්‍රාදේශීය සභාවට අයත් හෙක්ටයාර 0.2137 ක ඉඩමක් සඳහා ව්‍යාජ ලියකියවිලි සකස් කර රුපියල් මිලියන 75 ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු දෙදෙනකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඔවුන් 2025 මාර්තු 17 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර ඇත.

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා බත්තරමුල්ලේ පිහිටි ඔහුගේ නිවසේ සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබිණි.

අද පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග තහවුරු කළේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් දෙදෙනකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඔහු පැවසුවේ, කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි ඉඩමක් සම්බන්ධයෙන් එල්ල වී ඇති මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනවලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගත් බවයි.

නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් සිදුකළ බව ද ඔහු පැවසුවේය.