March 6, 2025

අද (6) විකාශය වන අල් ජසීරා ඉංග්‍රීසි නාලිකාවේ ‘හෙඩ් ටු හෙඩ්’ වැඩසටහන සඳහා පැවැති සම්මුඛ සාකච්ඡාවකදී, ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති සහ හය වතාවක් අගමැති ධුරය හෙබවූ රනිල් වික්‍රමසිංහ, බලයෙන් පහකරන ලද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නඩු පැවරීමෙන් ඔහුව ආරක්ෂා කළ බවට එල්ලවූ චෝදනා ප්‍රතික්ෂේප කළේය.

2019 දී ශ්‍රී ලංකාව කැළඹූ මාරාන්තික ත්‍රස්ත ප්‍රහාරවලට රජයේ සම්බන්ධතා ඇති බවට එල්ල වන චෝදනා විශ්වාසදායක ලෙස විමර්ශනය කිරීමට ඔහුගේ පරිපාලනය අපොහොසත් වූ බවට එල්ල වූ චෝදනා ද ඔහු ප්‍රතික්ෂේප කළේය.

මෙහ්ඩි හසන් සමඟ පැයක් පුරා පැවති මෙම සම්මුඛ සාකච්ඡාව අතරතුර වරක් කෝපයට රනිල් වික්‍රමසිංහ අතරමග නැගිට යන බවට තර්ජනය කරනු දැකගත හැකිවිය.

කෙසේවෙතත් උණුසුම් සංවාදයක් පැවැති බව අල් ජසීරා වාර්තා කරයි.

රටේ සිවිල් යුද්ධයෙන් පසු රජය යුද අපරාධ විමර්ශන හැසිරවීම සහ 1980 ගණන්වල අගභාගයේදී රනිල්ගේ අධීක්ෂණය යටතේ සිදුකරන ලද වධහිංසා පැමිණවීම් පිළිබඳ චෝදනා ද ඔහු ප්‍රතිෂේප කළේය.

“මගේ රටේ, නඩු පැවරීම තීරණය කරන්නේ දේශපාලන චරිතයක් නොවන නීතිපතිවරයායි. අපට කළ හැක්කේ ඔහුට සාක්ෂි යැවීම පමණයි”
2022 දී මහජන විරෝධතාවලින් පසු රටින් පළාගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ඔහු පෙනීසිටියේ මන්දැයි විමසූ විට රනිල් වික්‍රමසිංහ එසේ පැවසීය.

ගෝඨාභය සහ හිටපු අගමැති සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ යන දෙදෙනාටම දූෂණ හා යුද අපරාධ සහ රට විශාල මූල්‍ය අර්බුදයකට ඇදදැමීම සම්බන්ධයෙන් පුළුල් ලෙස චෝදනා එල්ල වී තිබේ.

2022 දී රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමකින් තොරව නැවත රටට ඇතුළුවීමට ඉඩදීම සම්බන්ධයෙන්ද රනිල්ට මෙහිදී චෝදනා එල්ලවිය.

කෙසේවෙතත් රනිල් මෙහිදී තර්ක කළේ ගෝඨාභයට කිසිදු චෝදනාවක් නොමැති බව පවසමිනි.

ISIS සංවිධානයට සම්බන්ධ කණ්ඩායමක් විසින් සිදුකරන ලද 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධ ‘වෙනත් බලවේග’ ඔහුගේම පාලනය විසින් ආරක්ෂා කර ඇති බවට කතෝලික පල්ලිය විසින් කරන ලද චෝදනා සම්බන්ධයෙන් ද මෙහිදී රනිල්ට චෝදනා එල්ලවිය.

ඊට පිළිතුරු දෙමින් රනිල් පැවැසුවේ එම චෝදනා සියල්ල “විකාර” බවත් කතෝලික පල්ලිය “දේශපාලනය කරන” බවත්ය.(News Wire)