March 4, 2025

උසාවි නියෝගයක් සහ විදේශ ගමන් තහනමක් පනවා තිබෙන හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය තවමත් මෙහෙයුම් සිදුකරමින් සිටියි.

ඒ අනුව, ඔහු සිටිය හැකි බවට අනුමාන කෙරෙන නිවාස 05ක් මේවනවිටත් සෝදිසි කර ඇති බව පොලීසිය පවසයි.

2023 දෙසැම්බර් 31 වන දින මාතර, වැලිගම, පැලෑන ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් හත්දෙනකු සමඟ හිටපු පොලිස්පතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය ඉකුත් දා නියෝග කෙරිණි.

එදින ප්‍රදේශය භාර පොලිස් ස්ථානයට නොදන්වා සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් ඇත.

අනන්‍යතාව හඳුනාගැනීමට නොහැකි වීම හේතුවෙන් පොලිස් නිලධාරීන් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට වෙඩිතබා ඇති අතර, සිද්ධියෙන් එක් පොලිස් සැරයන්වරයකු ජීවිතක්ෂයට පත්විය.

ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද ඉල්ලීමකට අනුව දේශබන්දු තෙන්නකෝන්ට මේ වනවිට විදේශ ගමන් තහනමක් පනවා තිබේ.

දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම ප්‍රමාදවීම පිළිබඳව මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාලගෙන් කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ “ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කරනවා. ගෙවල් පහක් සෝදිසි කළා. වැඩබලන පොලිස්පතිවරයා මේ ගැන සොයාබලනවා.” යනුවෙනි.

දේශබන්දු තෙන්නකෝන් මෙරට 36 වැනි පොලිස්පතිවරයා ලෙස පසුගිය වසරේ පත්කරනු ලැබුවේ එවකට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 සී (1) සහ 61 ඊ (ආ) වගන්තිවල දක්වා ඇති නියමයන්ට අනුකූලව මෙම පත්කිරීම සිදුකර ඇති අතර ඊට පෙර, ඔහු 2023 නොවැම්බර් 29 වැනි දින සිට වැඩබලන පොලිස්පතිවරයා ලෙස සේවය කළේය.

දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කළ විමසීම්වලදී පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසා ඇත්තේ උසාවියෙන් ලැබෙන නියෝගය ක්‍රියාත්මක කිරීමට පොලිසිය උනන්දුවෙන් ක්‍රියාකරන බවයි.