March 4, 2025

ඉන්ධන බෙදුම්කරුවන්ට පවතින ගැටළු විසඳීම සඳහා නව සූත්‍රයක් හඳුන්වා දී ඇති බවත්, ඒ ඔස්සේ ඉදිරියට යෑමට ඉන්ධන බෙදුම්කරුවන් එකඟ වී ඇති බැවින් සාකච්ඡා සඳහා කටයුතු සිදුකෙරෙමින් අතර, දැනට එම ගැටළුව අවසන් වී ඇති බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවේදී ඔහු මෙම අදහස් පළකළේය.

ලංකා ඛණිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන හල්විකුණා දැමීමට රජය සූදානම් වන බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් එහිදී ජනමාධ්‍යවේදියකු අමාත්‍යවරයාගෙන් විමසා තිබිණි.

ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ රජය තෙල් සංස්ථාව ශක්තිමත් කරන බව සහ තෙල් සංස්ථාව ශක්තිමත් කිරීම තුළ පමණක් මේ රටේ ජනතාවගේ අවශ්‍යතා ඉටුකිරීමට හැකියාව ලැබෙන බවයි.

එබැවින් බෙදුම්කරුවන්ට සිය සේවා අවශ්‍යතා පවත්වාගෙන යෑම සඳහා සාධාරණ කොමිස් මුදලක් ලබාදුන්නද තෙල් මිල වැඩිවන ආකාරයට ඉහළ යන පරිදි ඔවුන්ට කොමිස් මුදල් ලබාදීම සාධාරණ නොවන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස එහිදී වැඩිදුරටත් පැවසුවේය.