March 4, 2025

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර පත්කර තිබේ.

මෙම පත්වීම අද (මාර්තු 04) සිට ක්‍රියාත්මක බව ගුවන් හමුදාව පවසයි.

එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර 2024 වසරේ සිට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළේය.

ඔහු මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි.

1991 දී 24 වන බඳවාගැනීමේ සාමාන්‍ය රාජකාරි නියමු ශාඛාවේ කැඩෙට් නිලධාරියකු ලෙස ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සම්බන්ධ වූ එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර, චීන වරායේ ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨයේ මූලික හා උසස් පියාසර පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසු 1993 දී ගුවන් නියමු නිලධාරියකු ලෙස පත්වීම් ලබා තිබේ.

2003 දී බලඝණ නායක ලෙස උසස් වීම් ලද ඔහු එම වසරේම අංක 09 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝණයේ මෙහෙයුම් අණදෙන නිලධාරී ලෙස පත්කරන ලද අතර එහිදී මානුෂීය මෙහෙයුම් රැසකට සහභාගී වී ඇත.

2009 වසරේදී වින්ග් කමාන්ඩර් නිලයට උසස් වී ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික පාඨමාලාව සාර්ථකව නිමකළ එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර ඔහුගේ පශ්චාත් උපාධි අධ්‍යයනයෙන් පසුව ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික පාඨමාලාවේ අධ්‍යක්ෂක කාර්ය මණ්ඩලය/උපදේශක භූමිකාව භාරගෙන ඇති අතර, සිය වෘත්තීය ජීවිතය තුළ ශාස්ත්‍රපති උපාධි දෙකක් සම්පූර්ණ කර තිබේ

තවද, ඔහු ඉන්දියාවෙන් ආරක්ෂක සහ උපායමාර්ගික අධ්‍යයනය පිළිබඳ දර්ශනපති (MPhil) උපාධියක් ලබා ඇති අතර, පළමු පන්තියේ ගෞරව සහ විශිෂ්ටත්වය සමඟ උපාධියක් ද ලබා ඇත.

එයාර් වයිස් මාර්ෂල් සුමනවීර, VVIP ශ්‍රේණිගත ගුවන් නියමුවෙකු වන අතර, ඔහු 2011 සිට 2015 දක්වා අංක 04 VVIP/VIP Helicopter Squadron හි අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළේය.

එමෙන්ම ඔහු අවස්ථා දෙකකදී ‘රණවික්‍රම’ පදක්කම සහ ‘රණශූර’ පදක්කම මෙන්ම වටිනා සේවය සහ යුතුකමට කැපවීම, සුවිශේෂී හැකියාව, කුසල් සහ ආදර්ශමත් හැසිරීම වෙනුවෙන් ‘උත්තම සේවා’ පදක්කම ද හිමිකර ගෙන තිබේ.