March 1, 2025

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර ඇති පසුබිමක් තුළ ඔහු මේ වන විට අතුරුදන්ව ඇතැයි මහජන ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසයි.

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දී පාර්ලිමේන්තුව හමුවේ අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි හිටපු පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයෙන් විමසීමක් කළේය.

ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පැවසුවේ, හිටපු පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වන ක්‍රියාවලියේදී පොලීසිය ස්වාධීනව කටයුතු කරන බවයි.

මේ අතර, නීතිය ක්‍රියාත්මක කිරීමට බැඳීසිටින ප්‍රධාන පුද්ගලයකු තම පෞද්ගලික ආරක්ෂක නිලධාරියා නොමැතිව නිවසින් පිටව ගොස් අතුරුදන්ව ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ අනාවරණය කළේය.

ඔහු එම පුද්ගලයාගේ නම සඳහන් නොකළ අතර බොහෝදෙනකු සැක පළකරන්නේ ජනාධිපතිවරයා සඳහන් කළේ දේශබන්දු තෙන්නකෝන් පිළිබඳ විය හැකි බවයි.

එම පුද්ගලයා හෙට වනවිට යටත් වනු ඇති බවට ජනාධිපතිවරයා එහිදී විශ්වාසය පළකළේය.

2023 දෙසැම්බර් 31 වැනිදා වැලිගම ඩබ්ලිව් 15 හෝටලය අසලදී වෙඩිතබා ඝාතනයක් සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්
හිටපු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ නියෝග කළේය.

සිද්ධියෙන් පොලිස් නිලධාරියකු මියගිය අතර තවත් අයකුට තුවාල සිදුව තිබිණි.

මේ අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පැවසුවේ දේශබන්දු තෙන්නකෝන් සහ තවත් පොලිස් නිලධාරීන් 8 දෙනෙකු මෙම නඩුවේ සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග ලැබී ඇති බවයි.

ඒ අනුව හිටපු පොලිස්පතිවරයා සොයාගැනීමට සහ අත්අඩංගුවට ගැනීමට බලධාරීන් කටයුතු කරමින් සිටින අතර ඒ සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක බව ද පොලීසිය පවසයි.