February 27, 2025

මහියංගනය දම්බරාව ගම්වාසින් හා මාපාකඩවැව අලි පාලන ඒකකයේ නිලධාරින් එක්ව සිදුකළ වනඅලි මෙහෙයුමක දී, වනජීවී නියාමකයකු අත තිබූ ගිනිඅවියක් ක්‍රියාත්මක වී, මලවීකන්ද ගොවි ගම්මානයේ පුද්ගලයකුට වෙඩි වැදී බරපතල තුවාල ලබා මහියංගන රෝහලට ඇතුළත් කර තිබේ.

අපරික්ෂාකාරි ආකාරයට තම රාජකාරි ගිනිඅවිය ක්‍රියාත්මක කළ වනජීවි ආරක්ෂක නියාමකවරයා මහිංයගන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පසුගිය 25 වැනි දින මහියංගන ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබේ.

නඩුව 2025 හත්වන මස 22 යළි කැඳවීමට නියමිතය.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ අංක 99,අලකොලයාය, මලවීකන්ද ගම්මානයේ පදිංචි විජේතුංග මුදියසේලාගේ නදීෂ නමැති (33) හැවිරිදි දෙදරු පියෙකි.

වෙඩි වැදුණු පුද්ගලයාගේ දකුණු පස පාදයේ උණ්ඩ කොටස් හතරක් ඇති බව වෛද්‍ය පරික්ෂණවලින් තහවුරු වී අතර, ශ්‍යලකර්මයක් මගින් උණ්ඩ කැබලි ඉවත්කළ හොත් පාදයේ යම් දුර්වලතාවක් ඇතිවිය හැකි බව තමාට වෛද්‍යවරු පැවසූ බව නදීෂ විජේතුංග පවසයි.

ගොවිතැනින් තම ජීවිකාව කරගෙන යන හෙතෙම පාදයේ යම් ආබාධිත තත්ත්වයක් ඇතිවුව හොත් තමා හා තම දරු පවුල දැඩි අපහසුතාවයකට ලක්වන බව පෙන්වාදෙයි.

ඒ නිසා මේ සම්බන්ධයෙන් සාධාරණව සලකා බලා, රජයෙන් යම් සහනයක් ලබාදෙන මෙන් හෙතෙම ඉල්ලා සිටියි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ මහියංගන පොලිසිය මගින් සිදුකෙරේ.