February 27, 2025

පුත්තලම කල්අඩිය ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණියක ඇගේ නිවෙස තුළ අබිරහස් ලෙස මියගොස් ඇත.

ඇය සිහිසුන්ව සිටින බව සිතා ඇගේ මවුපියන් ඊයේ (26) පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇතත් ඒ වන විටත් ඇය මරණයට පත්ව සිට ඇති බව පුත්තලම මූලස්ථාන පොලිසිය කියයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ පුත්තලම, කල්අඩිය ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි ඩී. එච්. චමුදි විදර්ශනාය.

මව, පියා හා සොහොයුරීයක සමඟ ඇය ජීවත්ව ඇති බවත් ඇය පවුලේ වැඩිමහල් දියණීය බවත්, මෙම මරණය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පුත්තලම පොලිසිය සඳහන් කරයි.

ඇය අ.පො.ස. උසස් පෙළ පුත්තලම ආනන්ද ජාතික පාසලින් හදාරා ඇති අතර, මේ වන විට කුරුණෑගල උසස් අධ්‍යාපන ආයතනයක ඩිප්ලෝමාවක් හදාරමින් සිටි තරුණියක බවද පොලිසිය සඳහන් කරයි.

ඇය සතියේ දින පහම කුරුණෑගල නගරයේ පැවති උසස් අධ්‍යාපන ආයතනයට යන බවත්, ඉකුත් (25) වැනිදා සවස නිවෙසට පැමිණීමෙන් පසු පියා රැගෙනවිත් තිබූ එළවළු රොටියක් පමණක් ආහාරයට ගෙන රාත්‍රී ආහාර ගැනීමට නොහැකි බව පවසමින් නින්දට ගොස් ඇත.

කෙසේවෙතත් මෙම තරුණිය ඇගේ කාමරයේ සිට මධ්‍යම රාත්‍රී 12.44 වනතුරු ජංගම දුරකතනය හරහා කෙටි පණිවිඩ හුවමාරු කර ගෙන ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබේ.

අලුයම අවදි වූ මවුපියන්, දියණිය නිදාසිටි කාමරයට ගොස් ඇය සිහිසුන්ව සිටීම නිසා පුත්තලම මූලික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත.

ඒ වන විටත් ඇය මරණය පත්ව සිටි බව පොලිසිය කියයි.

අදාළ තරුණියගේ මරණය සම්බන්ධව පුත්තලම මූලික රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී ගෙවිදු කස්තුරිආරච්චි මහතා විසින් පශ්චාත් මරණ පරික්ෂණ පැවැත්වීමෙන් පසු සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට කටයුතු කර තිබිණි.

එසේම ඇයගේ මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දී ඇත‍.(දිනමිණ)