February 26, 2025

අරුණ විදානගමගේ නොහොත් ‘කජ්ජා’ නමැත්තා සහ ඔහුගේ දරු දෙදෙනා ඝාතනයට ලක්කරමින් ඉකුත් දා මිද්දෙණිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට තවත් සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

වීරකැටිය පොලිස් වසමේ වකමුල්ල ප්‍රදේශයේදී තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු ඊයේ අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

37 හැවිරිදි සැකකරු ත්‍රිත්ව ඝාතනයට ආධාර අනුබල දී ඇති බව වාර්තා වන අතර අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහු මිද්දෙණිය පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.

සැකකරු හකුරුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඒ අනුව මෙම අපරාධය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 6 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මිද්දෙණිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.