February 24, 2025

පසුගිය මැතිවරණයෙන් අනතුරුව ආණ්ඩුවේ වැඩපිළිවෙල ජනතාව විසින් අනුමත කිරීම 2024 ජූලි මාසයේ 24% සිට 2025 පෙබරවාරි මාසයේදී 62% දක්වා තියුණු ලෙස ඉහළ ගොස් ඇතැයි වෙරිටේ රිසර්ච් පර්යේෂණ ආයතනය පවසයි.

‘ජාතියේ මනෝභාවය’(Mood of the Nation) යනුවෙන් සිදුකළ මත විමසුමේදී මෙම ජනතා කැමැත්ත අනාවරණය වී ඇත.

“ආර්ථික අර්බුදයෙන් පසු පළමු වතාවට, ජනගහණයෙන් බහුතරයකට (53%) ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වයන් ‘යහපත් වෙමින් පවතින’ බව හැඟේ. කෙසේවෙතත්, 47%ක් තවමත් සිතන්නේ සමස්තයක් ලෙස ආර්ථිකය ‘දුර්වල තත්වයක’ පවතින බවයි. මෙය 2024 ජූලි මාසයේදී එසේ සිතූ 71% ට වඩා අඩුය.

සමස්තයක් වශයෙන්, 2024 ජූලි සිට 2025 පෙබරවාරි දක්වා, ආණ්ඩුව අනුමත නොකරන පුද්ගලයන්ගේ ප්‍රතිශතය 60% සිට 16% දක්වා අඩුවිය(ලකුණු 44 ක අඩුවීමක්) සහ ආර්ථිකය නරක අතට හැරෙමින් පවතින බව සිතන පුද්ගලයන්ගේ ප්‍රතිශතය 65% සිට 14% දක්වා අඩුවිය (ලකුණු 51 ක අඩුවීමක්) යැයි වෙරිටේ පර්යේෂණ ආයතනය පවසයි.

එම මත විමසුමේදී “වත්මන් ආණ්ඩුව ක්‍රියාකරන ආකාරය ඔබ අනුමත කරනවාද නැද්ද?” යන ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් 62% ක් “අනුමත කරනවා” යැයි පවසා ඇති අතර එය පෙර වතාවේ වාර්තා වූ 24% ට වඩා දෙගුණයකටත් වඩා වැඩිය. “අනුමත කරන්නේ නැහැ” යැයි පැවසුවේ 16% ක් පමණි. එය කළින් අනුමත නොකළ 60%ක ප්‍රතිශතයට වඩා විශාල අඩුවීමකි.

“සමස්තයක් ලෙස රටේ ආර්ථික තත්ත්වයන් යහපත් වෙමින් හෝ නරක අතට හැරෙමින් පවතින බව ඔබ සිතනවාද?” යන ප්‍රශ්නයට පිළිතුරු වශයෙන්, 2024 ජූලි මාසයේදී පිළිතුරු ලබාදුන් 30% ට සාපේක්ෂව 55% ක් “යහපත් වෙමින් පවතින” බව පැවසූහ. “නරක වෙමින් පවතින” බව පැවසුවේ 14% ක් පමණි, එය පෙර 65% ට වඩා තියුණු පහත වැටීමකි.” යනුවෙන්ද එම මත විමසුම වැඩිදුරටත් සඳහන් කර ඇත.