February 22, 2025

ජාතික තරුණ සේවා සභාවේ උත්සව සහ වැඩසටහන් කිහිපයක් වෙනුවෙන් වෙන්කර තිබූ රුපියල් කෝටි 18 කට වැඩි මුදලක් පසුගිය ජනාධිපතිවරණයේදී අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් වියදම් කර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප්) තොරතුරු අනාවරණය විය.

ජනාධිපතිවරණයට පෙර දින ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයාගේ අත්සන සහිතව මෙම චෙක් පත් නිකුත් කර බවද එහිදී හෙළිවිය.

සභාපතිවරයා බලපෑම් කළ නිසා වියදම් සහතික කළ බවත් එසේ නොකළේ නම් තමන්ට ස්ථාන මාරු ලබාදෙනු ඇතැයි සිතූ බවත් තරුණ සේවා සභාවේ නිලධාරීහු කමිටුව හමුවේ පැවසුහ.

තමන්ට පැවරුණු කාර්යභාරය නිවැරදිව ඉටුකරන ලෙස කෝප් කමිටුවේ සභාපති ‍වෛද්‍ය නිශාන්ත සමරවීර එහිදී නිලධාරීන්ට දැනුම් දුන්නේය.

එවකට මුදල් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ පුද්ගලයා කාරක සභාවට පැමිණ සිටියද පහළ නිලධාරින් අදහස් ඉදිරිපත් කරද්දී නිහඬව සැඟවී සිටීමට උත්සාහ කිරීම කාරක සභාව නොමඟ යැවීමක් බව එහිදී ප්‍රකාශ විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන් පෙන්වා දුන්නේ ජනාධිපතිවරණයට පෙර දින මහා භාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි දහයක් ලැබුණු බවයි.

සභාපතිවරයාගේ බලපෑම මත මෙම වියදම් සහතික නිකුත් කර චෙක්පත් නිකුත් කිරීමට සිදුවූ බවද ඔවුහු සඳහන් කළහ.