February 21, 2025

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2018 දී ඇමරිකා එක්සත් ජනපදයේ නිල සංචාරයක් සඳහා රුපියල් මිලියන 50ක මුදලක් වැයකර ඇතැයි විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පාර්ලිමේන්තුවේදී අනාවරණ කර තිබේ.

“හිටපු ජනාධිපති සිරිසේන මෙම සංචාරයට 77 දෙනෙකු රැගෙන ගොස් තිබූ අතර එයට එවකට ජනාධිපති ආර්යාව ඇතුළු මැති ඇමතිවරුන් 9 දෙනෙකු ඇතුළත්ව තිබෙනවා. නිල දූත පිරිසට සාමාජිකයින් 28 දෙනෙක්, ප්‍රොටෝකෝල් නිලධාරීන් දෙදෙනෙක්, ආරක්ෂක නිලධාරීන් 13 දෙනෙක් සහ මාධ්‍යවේදීන් 28 දෙනෙකු සිටියා. මෙම සංචාරයේ මුළු වියදම රුපියල් මිලියන 50.4ක්” යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

“හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙබරවාරි 8 සහ 9 දෙදින නිල සංචාරයක් සඳහා සාමාජිකයින් 72 දෙනෙකු ඉන්දියාවට රැගෙන ගොස් ඇති අතර ඒ සඳහා වැය වූ මුළු මුදල රුපියල් මිලියන 9.5 ක්. සංචාරය සඳහා නිල දූත පිරිස 12 දෙනෙකු වූ අතර ඊට අමතවර තවත් 11 දෙනෙකු ගොස් තිබෙනවා. එම සංචාරයට සහභාගි වූ කාන්තාවන් පස් දෙනෙකු සහ මාධ්‍යවේදීන් පස්දෙනෙකු, වෙනම ආරක්ෂක කණ්ඩායම් දෙකක් ද ජනාධිපතිවරයාට සහ ආර්යාවට ආරක්ෂාව සැපයීමට ගොස් තිබෙනවා. මෙය විදේශ සංචාර එවැනි ගණනාවකින් කිහිපයක් පමණයි” නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සියලුදෙනාටම පාහේ හුවමාරු කළ හැකි වාහන බලපත්‍ර ලබා දී ඇති බව ද ඔහු පැවසීය.