February 20, 2025

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ යෝජනා අනුව වත්මන් ආණ්ඩුවේ පළමු අයවැය සකස්කර තිබීම වරදක් නොවන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රවී කරුණානායක පවසයි.

ඊයේ පැවැති ජනමාධ්‍ය හමුවකදී අදහස් පළකරමින් හෙතෙම කියාසිටියේ, අන්තර්ජාතික මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට අයහපත් කොන්දේසි පනවා නොමැති බවයි.

එහිදී ඔහු මෙසේද පැවැසීය.

“අන්තර්ජාතික මූල්‍ය අරමුදල අප රටට කොන්දේසි දෙකක් දමා තිබෙනවා. ඒ කොන්දේසි නරක කොන්දේසි නොවෙයි. ඒ කොන්දේසි අතර අපට රටක් විදිහට වියදම් කළ හැකි මුදල් ප්‍රතිශතයක් තිබෙනවා. ඒක ජාතික ආදායමෙන් සියයට දහතුනක ප්‍රමාණයක් පමණයි. ආදායම බිලියන සියයක් හෙව්වත් වියදම් කිරීම සියයට දහතුනකට සීමා වෙලා තිබෙනවා. ඒ තත්ත්වය තුළ අපට රටක් විදිහට යම් සීමාවක් ඇතිව කටයුතු කිරීමට සිදුවීම තුළ මූල්‍ය විනයක් ඇති කර ගැනීමට පුළුවන්කම ලැබී තිබෙනවා. ඒ නිසා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ මැදහත්වීමේ වරදක් මා නම් දකින්නේ නැහැ. මම මුදල් ඇමැතිවරයා විදිහට සිටියදී ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් සඳහා පොලී අනුපාතය සියයට පහළොව දක්වා වැඩිකළා.”