February 18, 2025

සාකච්ඡා අඛණ්ඩව ඉදිරියට ගෙනයෑම සඳහා එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගයෙන් නිල ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වේ.

ඒකාබද්ධවීමට උත්සාහ කළ එම පක්ෂ දෙක අතර නායකත්වය සම්බන්ධයෙන් මතුව ඇතැයි කියන ගැටලු හේතුවෙන් දෙපාර්ශවය අතර සාකච්ඡා මේ වනවිට ඇනහිට තිබේ.

කෙසේවෙතත් Daily Morning වෙත අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ මහලේකම් තලතා අතුකෝරල පවසා ඇත්තේ, එම පක්ෂය සාකච්ඡාවලින් ඉවත් වී නොමැති බවයි.

එහෙත් සමගි ජනබලවේගය තුළ පවතින ඇතැම් අභ්‍යන්තර ගැටලු සාකච්ඡාවලට විරාමයක් තැබීමට හේතු වී ඇති බව ඇය පවසයි.

ඇය එම අදහස් පළකර තිබුණේ එක්සත් ජාතික පක්ෂය සමඟ සාකච්ඡා කිරීමට සමගි ජන බලවේගයේ නායකත්වය පත්කළ කමිටුවේ සාමාජිකයකු මෙන්ම එම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක, තම පක්ෂය තුළ පවතින බව කියන අභ්‍යන්තර ආරවුල් හේතුවෙන් එම කමිටුවෙන් ඉවත්වීමට තීරණය කළ බව නිවේදනය කිරීමෙන් අනතුරුවය.

සමගි ජන බලවේගය සමග දැනට පැවැත්වෙන සාකච්ඡා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට කිසිදු ගැටලුවක් නොමැති බව තලතා අතුකෝරළ පවසා තිබේ.

“අපට තනිවම සාකච්ඡා කරන්න බැහැ. සමගි ජන බලවේගය ඔවුන්ගේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණයකින් පසුව සාකච්ඡාවලට සහභාගී වූණා. අපිත් එහෙමයි. සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය මේ පිළිබඳව සාකච්ඡා කිරීමට රැස්වන බව අපට වැටහෙනවා. ඔවුන්ගේ නිල ප්‍රතිචාරය එනතෙක් අපි බලා ඉන්නවා” ඇය වැඩිදුරටත් පැවසුවාය.