February 18, 2025

පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සිදු වී ඇතැයි පැවසෙන හිංසන සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් පැවැත්වීම සඳහා පත්කෙරුණු ත්‍රිපුද්ගල කමිටුව වින්දිත නිලධාරිනිය විසින් තරයේ ප්‍රතික්ෂේප කරනු ලැබීම හේතුවෙන් එහි විමර්ශන අතරමග නැවතී ඇතැයි වාර්තාවේ.

මෙම කමිටුව පසුගිය 14 වැනිදා සිකුරාදා රැස්වුණු අවස්ථාවේදීද වින්දිත නිලධාරිනිය එහි පෞද්ගලිකවම පෙනීසිටිමින් ඊට විරෝධය දක්වා ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

එසේම කමිටුවට විරෝධය පළකරමින් ඇය පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීරටද ලිඛිතව පැමිණිල්ලක් කර ඇත.

නිලධාරිනිය දැඩි ලෙස විරෝධය පළකර ඇතැයි පැවසෙන්නේ එම කමිටුවේ සභාපතිනී හැන්සාඩ් සංස්කාරක නයනි ලොකු කොඩිකාරද සිල්වාටය.

කමිටු සභාපතිනිය පාලනාධිකාරියේ ඇතැම් නිලධාරීන් සමග පවත්වනු ලබන කියන බව දැඩි මිත්‍රශීලී පවුල් සබඳතා විමර්ශනයේදී තමාට දැඩි අවාසියක් සිදුවිය හැකි බව පවසමින් ඇය කමිටුවට මෙසේ විරෝධය දක්වා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් මූලික විමර්ශනයක් පවත්වා ඇති හෙයින් සිද්ධිය බාහිර විමර්ශනයකට යොමුකරන ලෙස වින්දිත නිලධාරිනිය එහිදී දැඩිව ඉල්ලා ඇතැයිද දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු ප්‍රධානියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ, දැනටමත් මූලික පරීක්ෂණයක් පවත්වා ඇති හෙයින් සිද්ධිය බාහිර විමර්ශනයකට යොමුකිරීම සුදුසු බව තමාගේද අදහස බවයි.(ලංකාදීප)