February 18, 2025

එළැඹෙන 19 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය පැවැත්වීම වළක්වාලන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි, නීතිඥ එම්ලියා ලිලන්ති ද සිල්වා කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන ඊයේ (17) ප්‍රතික්ෂේප කළේය.

සභාපති ධුරයට තරග වදින නීතිඥ රජීව් අමරසූරිය, නීතිඥ ආචාර්ය සුනිල් අබේරත්න, නීතිඥ සංගමයේ මැතිවරණ තේරීම් භාර නිලධාරී ඇතුළු නිලධාරීන් 12 දෙනකුට එරෙහිව මෙම පැමිණිල්ල ගොනුකර තිබිණි.

පැමිණිලිකාරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කර සිටියේ, සභාපති ධුරයට නාමයෝජනා භාරදුන් ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ තරගයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව ඉතිරි වූ අපේක්ෂකයන් දෙදෙනාගෙන් පමණක් මැතිවරණය සඳහා තරග වැදීම සංගමයේ ව්‍යවස්ථාට විරෝධී බවයි.

නාමයෝජනා ඉල්ලා අස්කර ගැනීම අපේක්ෂකයකු මියයෑමකට සමාන බවත්, අපේක්ෂකයකු මියගිය පසුව යළිත් නාමයෝජනා කැඳවීම ව්‍යවස්ථානුකූල බවත් පෙන්වාදුන් නීතිඥවරයා. යළි නාමයෝජනා කැඳවා මැතිවරණය පැවැත්වීමට නියෝග කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

වගඋත්තරකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අලි සබ්රි, ජනාධිපති නීතිඥ ඉක්‍රාම් මොහොමඩ්, ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, නීතිඥ තිෂ්‍ය වේරගොඩ හා නීතිඥ ගුණරත්න වන්නිනායක කරුණු දක්වමින් පැවසුවේ, නීතිඥ සංගමයේ නිලවරණය පැවැත්වීම නීත්‍යානුකූල බවත් අනුර මැද්දගොඩ ස්ව-කැමැත්තෙන් නිලවරණය සඳහා තරග වැදීමෙන් ඉවත් වී ඇති බවත්ය.

එම ඉවත්වී යෑම මියයෑමකට සමාන කළ නොහැකි බවද නීතීඥවරු අවධාරණය කළහ.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ දිසා විනිසුරුවරයා සිය නියෝගය ප්‍රකාශයට පත්කරමින් කියා සිටියේ, පැමිණිල්ලට බැලූ බැල්මට ජයගත හැකි නඩුවක් ඉදිරිපත් කර නොමැති බවයි.

එමෙන්ම අනුර මැද්දගොඩ තරගයෙන් ඉවත් වීම පිළිබඳව දින නමයකට පෙර ඔහුගේ සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ කර ඇති බවත්, එවන් වටපිටාවක මෙම පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට දින නවයක් මේ වනවිට ප්‍රමාද වී ඇති බවද, විනිසුරුවරයා පෙන්වාදුන්නේ ය.

නිලවරණය පැවැත්වීම සංගමයේ ව්‍යවස්ථාවට පටහැනි බවක් අධිකරණයට පෙනීනොයන බැවින් පැමිණිල්ලේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව විනිසුරුවරයා නියෝග කළේ ය.

මාර්තු 3 වැනිදා යළි නඩුව කැඳවීමට නියමිතය.