February 17, 2025

මන්නාරම සහ පුනරින්හි මෙගාවොට් 500ක ධාරිතාවෙන් යුත් පූනර්ජනනීය බලශක්ති බලාගාර ඉදිකිරිමේ ව්‍යාපෘතිය ඉන්දියාවේ අදානි සමාගම වෙත පිරිනමන විට එකී ව්‍යාපෘතිවල මූලික සංවර්ධන කටයුතු සඳහා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් රුපියල් මිලියන 261.7 ක් වැයකොට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

වැයකළ මෙම මුදල ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් 2022 වර්ෂයේ නොවැම්බර් 08 දිනැති ලිපිය මගින් අදාළ ව්‍යාපෘති සංවර්ධකගෙන් ඉල්ලීම් කර ඇත.

පසුව සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් ව්‍යාපෘති සංවර්ධකගෙන් ලැබිය යුතු මුදල රුපියල් මිලියන 112.5ක් ලෙස අඩුවෙන් මූල්‍ය ප්‍රකාශනවල සටහන් මගින් හෙළිදරව් කර තිබේ.

එම මුදල අඩුකිරීම සම්බන්ධයෙන් එකඟතාවන් විගණනයට ඉදිරිපත් කොට අදාළ ආයෝජකයා සමග ඇති කරගත් නොමැති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

වටිනාකම අඩුකර ගැනීමට අදාළ එකඟතාවන් පිළිබඳ විස්තර නොපමාව විගණනය වෙත ඉදිරිපත් කළ යුතු බවද විගණනය මගින් නිර්දේශ කොට ඇත.

මෙකී බලාගාර ඉදිකිරිමේ ව්‍යාපෘතිය ඉන්දියානු අදානි සමාගම වෙත පිරිනැමීම සඳහා 2022 මාර්තු 15 වැනිදා අමාත්‍ය මණ්ඩලය මගින් අනුමැතිය ලබාදී තිබිණි.

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සම්බන්ධයෙන් 2023 වර්ෂයට අදාළව නිකුත් කොට ඇති විගණන වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය කොට ඇත.