February 14, 2025

ආහාර කල් තබාගන්නා රසායනික ද්‍රව්‍ය අඩංගු විවිධ ආහාර වර්ග ළමා පිළිකා වර්ධනයට හේතු වී ඇති බවට ප්‍රකාශ වුවද, ළමා පිළිකා සඳහා ආහාර රටාව හෝ ආහාර වර්ගවල සෘජු බලපෑමක් එල්ල නොකරන බව වෛද්‍ය විශේෂඥයෙක් පෙන්වා දී තිබේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජාතික පිළිකා ආයතනයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය සංජීව ගුණසේකර කියාසිටියේ, ළමා පිළිකා සඳහා ආහාර ප්‍රභේද සෘජුවම සම්බන්ධ බව සනාථ කිරීමට ශ්‍රී ලංකාවේ හෝ ලෝකයේ සායනික දත්ත නොමැති බවයි.

ආහාර කල් තබාගන්නා රසායනික ද්‍රව්‍ය ශරීරයට අහිතකර විය හැකි නමුත් එය සායනික දත්ත මගින් ඔප්පු කර නොමැති බවත්, ආහාර කල් තබාගන්නා රසායනික ද්‍රව්‍ය සහිත ආහාර වර්ග ආහාරයට ගැනීමෙන් දිගු කාලීනව පිළිකා සහ බෝනොවන රෝග ඇති විය හැකි බවත් ඔහු පැවැසීය.

“ආහාර පරිභෝජනය නිසා පිළිකා හෝ බෝ නොවන රෝග ඇතිවීමට බොහෝ කාලයක් ගතවෙනවා. එවැනි ආහාර වර්ගවලට අප දිගු කලක් නිරාවරණය විය යුතුයි. ඒ නිසා ළමා පිළිකාවට ආහාරවලට සෘජු සම්බන්ධයක් නැහැ,” ඔහු ප්‍රකාශ කළේ රසායනික ආහාර කල් තබාගන්නා විවිධ ආහාර වර්ග ළමා පිළිකාවලට හේතු වී ඇති බවට මහජන මතයක් පවතින බවට යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

වැඩිහිටි පිළිකාවට වඩා ළමා පිළිකා සුවකළ හැකි බවත්, කල් ඇතිව හඳුනාගෙන නිසි වේලාවට නිසි ප්‍රතිකාර කිරීම ඉතා වැදගත් බවත් ඔහු පෙන්වාදුන්නේය.