February 11, 2025

ටී 56 ගිනි අවියක් සහ පතොරම් 30ක් සමඟ ඩුබායි වෙත පළාගොස් ඇතැයි පැවසෙන ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයාගේ මව්පියන් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, සැකකරුවන් අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා පැය 48ක කාලයක් රඳවා තබාගැනීමට ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර ලබාගෙන ඇති බවයි.

මේ අතර සැකකරුට පළායෑමට ආධාර අනුබල දුන් බව කියන තවත් පොලිස් කොස්තාපල්වරයකු ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ගිනි අවිය සහ පතොරම් සොරකම් කර ඩුබායි වෙත පළාගිය අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි කොස්තාපල්වරයා සොයාගැනීමට මෙරට බලධාරීන් අන්තර්ජාතික පොලිසියේ සහය ඉල්ලා ඇතැයි ද වාර්තා වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පැවසුවේ, 25 හැවිරිදි සැකකාර නිලධාරියා පෙබරවාරි 8 වැනිදා රාත්‍රියේ රාජකාරි මුරය සඳහා පිටත්ව යෑමට පෙර මෙම ගිනි අවිය සහ පතොරම් රැගෙන ගොස් ඇති බවයි.

ඔහු නැවත පොලිස් ස්ථානයට වාර්තා කර නොමැති අතර ඔහුගේ ජංගම දුරකථනයට ලබාගත් ඇමතුම්වලට පවා ප්‍රතිචාර දක්වා නොමැත.

මෙම නිලධාරියා පෙබරවාරි 8 වැනිදා රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ඩුබායි බලා ගොස් ඇති බව වැඩිදුර පරීක්‍ෂණවලදී අනාවරණ වී තිබේ.

සොරකම් කරන ලද ගිනි අවිය මෙතෙක් සොයා ගෙන නොමැති අතර, ගිනි අවිය සහ පතොරම් සොයාගැනීමට පොලිස් කණ්ඩායම් හතරක් කටයුතු කරමින් සිටියි.

42.31%
17.27%
32.76%