February 6, 2025

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබා දී තිබූ ආරක්‍ෂාව අඩුකිරීමට එරෙහිව ඔහුගේ නීතිඥවරුන් විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම මාර්තු 19 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියමකර තිබේ.

එම පෙත්සම අද ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ සම්පත් අබේකෝන් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

මෙම නඩුවේ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් වරුණිකා හෙට්ටිගේ අධිකරණයෙන් ඉල්ලා සිටියේ, මෙම නඩුවට අදාළ උපදෙස් වගඋත්තරකරුවන්ගෙන් ලබාගැනීමට සහ පෙත්සමට විරෝධතා ගොනුකිරීමට කාලය ලබාදෙන ලෙසයි.

ඒ අනුව නඩුවට අදාළ විරෝධතා ගොනුකිරීමට වගඋත්තරකාර පාර්ශ්වයට අවසර දුන් අධිකරණය, අවශ්‍ය නම් ප්‍රතිවිරෝධතා ගොනුකරන ලෙසද පෙත්සම්කාර පාර්ශ්වයට දැනුම් දී තිබේ.

පෙත්සම්කාර මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතීඥ අලි සබ්රි අධිකරණය හමුවේ සාක්ෂි ඉදිරිපත් කරමින් කියාසිටියේ, නිසි ආරක්ෂක තක්සේරුවකින් තොරව තම සේවාදායකයාගේ ආරක්ෂාව අඩුකර ඇති බවයි.

හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව අඩුකිරීම හෝ වැඩිකිරීම සම්බන්ධයෙන් විධිමත් ආරක්ෂක තක්සේරුවකින් පසුව තීරණයක් ගතයුතු බව ද ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල කරුණු තහවුරු කිරීම සඳහා අදාළ පෙත්සම මාර්තු මස 19 වැනිදා කැඳවීමට නියෝග කර ඇත.

42.31%
17.27%
32.76%