February 4, 2025

වර්තමානයේ බොහෝ පුදගලයන්ට පවතින විවිධ රෝග වළක්වා ගැනීමේ ක්‍රමවේදයක් ලෙස ක්‍රීඩාව සහ ව්‍යායාම ඇතුළත් කිරීමේ අවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පෙන්වා දී තිබේ.

කරාපිටිය ජාතික රෝහලේ ක්‍රීඩා හා ව්‍යායාම වෛද්‍ය ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු ඒ බව ප්‍රකාශ කර ඇත.

අමාත්‍යවරයා එහිදී පවසා ඇත්තේ, ඉන්සියුලින් ඇතුළු දියවැඩියාව ආශ්‍රිත ඖෂධ සඳහා රජය පසුගිය වසරේ දළ වශයෙන් රුපියල් බිලියන 7.3ක් වැයකර ඇති බවයි.

එම පිරිවැය අඛණ්ඩව ඉහළ යමින් පවතින බව ද අමාත්‍යවරයා පෙන්වාදී තිබේ.

ඖෂධ සඳහා භාණ්ඩාගාර අරමුදල් මත පමණක් රඳානොසිට, ඒවා වළක්වා ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමුකළ යුතු බව ද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස එහිදී අවධාරණය කර ඇත.

ප්‍රතිකාර සහ වැළැක්වීම ක්‍රීඩාවෙන් හා ව්‍යායාම මගින් සිදුකෙරෙන බව පෙන්වාදුන් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ, සෞඛ්‍ය සේවාව ඖෂධවලින් ඔබ්බට විහිදිය යුතු බවයි.

පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහ ක්‍රීඩා වෘත්තිකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය නගාසිටුවීම සඳහා සිදුකෙරෙන මැදිහත්වීම වැඩිකරන ලෙස ද ඔහු නිලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.

සෞඛ්‍ය සේවා සඳහා ක්‍රීඩාව සහ ව්‍යායාම ඒකාබද්ධ කළ යුතු බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම ක්ෂේත්‍රය තුළ එහි කාර්යභාරය පුළුල් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කර ඇත.

2015 වසරේ සිට ශ්‍රී ලංකාව ක්‍රීඩා යෝග්‍යතා සහතික නිකුත් කර ඇති නමුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සෞඛ්‍යය පිළිබඳ සෘජු තක්සේරුවක් ක්‍රීඩා පිටියේ නොමැති බව ද ඔහු පෙන්වාදී තිබේ.

එමෙන්ම අමාත්‍යවරයා පවසා ඇත්තේ, මෙරට තුළ දැනට ක්‍රීඩා වෛද්‍ය ඒකක 16ක් පවතින නමුත් ඇතැම් පළාත්වල තවමත් එවැනි පහසුකම් නොමැති බවයි.

42.31%
17.27%
32.76%