February 2, 2025

මතභේදයට තුඩු දී ඇති විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද විද්වත් කමිටුව එම නිකුත් කිරීමේ ක්‍රියාවලිය පවත්වාගෙන යෑමට සහ ක්‍රියාවලිය යළි සාමාන්‍ය තත්ත්වයට පත්කිරීම සඳහා යන්ත්‍ර මගින් කියවිය හැකි නව විදේශ ගමන් බලපත්‍ර මිලියන 1.1 ක් ලබා ගැනීමට නිර්දේශ කර ඇතැයි වාර්තා වේ.

කෙසේවෙතත් සම්පූර්ණ ඇණවුම වහාම ලබානොදිය හැකි බව පවසමින් මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල වඩාත් ප්‍රවේශම්සහගත වැඩසටහනක් පිළිබඳ අදහස් පළකර තිබේ.

නව විදේශ ගමන් බලපත්‍ර ඇණවුම සති දෙක තුනක් ඇතුළත නිකුත් කිරීමට බලාපොරොත්තු වන නමුත් නිශ්චිත සංඛ්‍යාවක් මෙතෙක් තීරණය කර නොමැති බව වාර්තා වේ.

විද්‍යුත් ගමන් බලපත්‍ර නඩුව විසඳනතුරු තාවකාලික බලපත්‍ර අවශ්‍යතාව තීරණය කිරීම සඳහා අමාත්‍යාංශය එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් වැඩිදුර තක්සේරු කිරීම් සිදුකරනු ඇත.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව දැනට විදේශ ගමන් බලපත්‍ර 550,000 ක තොගයක් සන්තකයේ තබාගෙන සිටින අතර, දළ වශයෙන් මසකට විදේශ ගමන් බලපත්‍ර 50,000 ක් (හෝ වැඩ කරන දිනකට 2,500 ක්) නිකුත් කරන බව අමාත්‍යවරයා පවසයි.

කෙසේවෙතත්, එම ක්‍රියාවලිය යථා තත්ත්වයට පත්කිරීම සඳහා, දෙපාර්තමේන්තුවට මසකට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ අනුපාතය 80,000 දක්වා වැඩිකිරීමට අවශ්‍ය වන අතර ඒ වෙනුවන් තොග රැස්කර තබාගැනීමේ හදිසි අවශ්‍යතාවක් මතුව ඇත.

විද්වත් කමිටුවේ මිලියන 1.1ක විදේශ ගමන් බලපත්‍ර ප්‍රසම්පාදන නිර්දේශය සලකා බලමින් සිටින අතරවාරයේ, නිශ්චිත තීරණයක් ලබාදීමට පෙර අමාත්‍යාංශය යෝජිත විද්‍යුත් ගමන් බලපත්‍ර ක්‍රමය පිළිබඳ අධිකරණ තීන්දුවක් බලාපොරොත්තුවෙන් සිටි බව අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.

කමිටුවේ නිර්දේශය නොතකා, විදේශ ගමන් බලපත්‍ර මිලියන 1.1ක් ඇණවුම් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව අමාත්‍යවරයා සැක පළකරන අතර, ඉදිරි සතියේදී වඩාත් නිවැරදි තක්සේරුවක් සිදුකරන බව ප්‍රකාශ කර තිබේ.

42.31%
17.27%
32.76%