January 30, 2025

මෑතකදී පරීක්ෂාවකින් තොරව නිකුත් කරන ලද බහාලුම් 323 බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්ගේ ප්‍රධානත්වයෙන් යුත් එක්ස්පෝලංකා හෝල්ඩින්ග්ස් ලිමිටඩ් සමාගමට අයත් බවට එල්ල වන චෝදනා ශ්‍රී ලංකා රේගුව ප්‍රතික්ෂේප කරයි.

බහාලුම් රථ තදබදයට විසඳුමක් ලෙස 2024 ජූලි 18 වන දින පත්කරන ලද පරීක්ෂණ ඒකකය විසින් අදාළ බහාලුම් 323 නිදහස් කර ඇති බවත්, එමගින් ආයුධ, රත්‍රන් සහ මත්ද්‍රව්‍ය රට තුළට ඇතුළුවීමට හෝ රේගු බදුවල කිසිදු අලාභයක් සිදුවිය නොහැකි බවත් රේගුව පවසයි.

බහාලුම් රථ තදබදයට විසඳුම් සෙවීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද කමිටුවේ උපදෙස් අනුව සහ 2025 ජනවාරි 12 වන දින ජනාධිපතිවරයා සහ කමිටු සභාපති අමාත්‍ය බිමල් රත්නායකගේ උපදෙස් සැළකිල්ලට ගනිමින් අදාළ නිර්ණායක යටතේ පරීක්ෂණ ඒකකය විසින් බහාලුම් නිදහස් කර ඇති බව රේගුව විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ.

කමිටුව විසින් ගන්නා ලද ක්‍රියාමාර්ගය බහාලුම් රථ තදබදය යම් දුරකට ලිහිල් කිරීමට උපකාරී වූ බවත්, එමඟින් ආනයනකරුවන් විශාල පිරිසකට අඩු පිරිවැයක් යටතේ කෙටි කාලයක් තුළ තම බහාලුම් නිදහස් කිරීමට හැකි වූ බවත් එම නිවේදනයේ සඳහන් වේ.

නිදහස් කරන ලද බහාලුම්වලට එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් ලිමිටඩ් වෙනුවෙන් ආනයනය කරන ලද කිසිදු බහාලුමක් ඇතුළත් නොවන බවත්, ආයුධ, රත්‍රන් සහ මත්ද්‍රව්‍ය රට තුළට ඇතුළු වීමට හෝ රේගු බදු අලාභ සඳහා කිසිදු හැකියාවක් නොමැති බවත් ශ්‍රී ලංකා රේගුව වැඩිදුරටත් අවධාරණය කරයි.

මෙලෙස නිදහස් කරන ලද බහලුම් බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්ට අයත් බවට සමගි ජන බලවේග මන්ත්‍රීවරු ප්‍රසිද්ධියේ චෝදනා කළහ.

42.31%
17.27%
32.76%