January 29, 2025

සෞඛ්‍ය ක්ෂේත්‍රය ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟයෙන් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින අතර, ආයතන මට්ටමින් අවශ්‍ය පරිදි ඖෂධ ලබාගැනීමට සෞඛ්‍ය ආයතනවලට බලය සහ පහසුකම් සලසා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය පවසයි.

කොළඹ පිහිටි ජාතික වෘක්කවේද කාන්දු පෙරීම සහ වකුගඩු බද්ධ කිරීමේ ආයතනයේ ඩයලිසිස් ඒකකයේ යන්ත්‍ර හිඟයක් පවතින බවට පළවන වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් එම අංශය මෙම ප්‍රකාශය සිදුකර ඇත.

අදාළ වාර්තාවලට අනුව ක්‍රියාකාරී යන්ත්‍ර නොමැතිකම හේතුවෙන් රෝගියකුට ඩයලිසිස් සැසි 60 දක්වා සීමාකිරීමට සිදුව තිබේ.

‘ඩේලි මෝනිං’ පුවත්පත වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා (වෛද්‍ය සැපයුම්) නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය පවසා ඇත්තේ, ඖෂධ මිලදීගැනීම් කඩිනම් කිරීම සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වාර්තා වී ඇති හිඟයන් මඟහරවා ගැනීම මෙම තීරණයේ අරමුණ බවයි.

කෙසේවෙතත්, ජාතික වෘක්කවේද කාන්දු පෙරීම සහ වකුගඩු බද්ධ කිරීමේ ආයතනයේ පවතින කිසිදු වෛද්‍ය සැපයුම් හිඟයක් පිළිබඳව තවමත් දැනුම් දී නොමැති බව ද ඔහු පවසා ඇත.

රෝහල්වල පවතින හිඟයන් මඟහරවා ගැනීම සඳහා ආයතන මට්ටමින් ඖෂධ ලබාගැනීම සඳහා අවශ්‍ය මුදල් අමාත්‍යාංශය මගින් සෞඛ්‍ය ආයතනවලට ලබාදෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

“මෙම ක්‍රියාවලිය සරල කිරීමට සහ කඩිනම් කිරීමට ආයතන මට්ටමින් ඖෂධ ලබාගැනීමට අපි රෝහල්වලට අවසර ලබා දී තිබෙනවා. ඖෂධ හිඟයට පිළියම් යෙදීම සඳහා මෙය ඉතා ඵලදායී වෙනවා. අවශ්‍ය නම් දේශීය නිෂ්පාදකයන්ගෙන් ඖෂධ ලබාගැනීමට ද ඔවුන්ට බලය ලැබී තිබෙනවා. අපි ඔවුන්ට අරමුදල් සහ පැහැදිලිවම උපදෙස් නිකුත් කරලා තිබෙනවා,” ඔහු වැඩිදුරටත් පවසා ඇත.

මේ අතර, ඖෂධ හිඟයට පිළියම් යෙදීම සඳහා වසරක කාලයක් සඳහා හඳුනාගත් ආයතනවලින් දේශීයව නිෂ්පාදනය කරන ඖෂධ සහ වෛද්‍ය සැපයුම් මිලදීගැනීම සඳහා, මිලදී ගැනීමේ ගිවිසුම්වලට එළඹීමට පසුගිය වසරේ (2024) අගභාගයේදී අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබිණි.

42.31%
17.27%
32.76%