January 29, 2025

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි හටගත් ලැව්ගිනි හේතුවෙන් විපතට පත් පුද්ගලයන්ට සහ එම පවුල්වලට ආශිර්වාද පතා බෞද්ධ ආගමික උත්සවයක් වොෂින්ටන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධාන කර තිබේ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවති මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ඩයස්පෝරාවේ සාමාජිකයෝ ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මාර්ගගත ක්‍රමය ඔස්සේ එම අවස්ථාවට සහභාගී වූ පුද්ගලයන් වෙනුවෙන් එම උත්සවය සජීවීව විකාශය කර තිබේ.

උතුරු අමෙරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක සහ මේරිලන්ඩ් බෞද්ධ විහාරාධිපති පූජ්‍ය කටුගස්තොට උපරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ මහා සංඝරත්නයේ වැඩමවීමෙන් මෙම උත්සවය පැවැත්විණි.

ශ්‍රී ලාංකික චාරිත්‍රානුකූලව, විපතට පත් ජනතාවට ආධ්‍යාත්මික සැනසීම, ආරක්ෂාව සහ ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් මහා සංඝරත්නය විසින් බුද්ධ පූජාව සිදුකළ අතර වට්ටක පිරිත ඇතුළු පිරිත් සජ්ඣායනයක් ද පවත්වා තිබේ.

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ප්‍රකාශිකා ඇලිස් චෝ ඇතුළු අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හා රාජ්‍ය තාන්ත්‍රික කාර්යාලයේ නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

පිළිගැනීමේ දේශනය පවත්වමින් අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ ප්‍රකාශ කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක සහ විදේශ අමාත්‍ය විජිත හේරත්ගේ එකඟතාවයෙන් සහ උපදෙස් අනුව මෙම දුෂ්කර අවස්ථාවේ අමෙරිකාවේ ජනතාව වෙනුවෙන් සහයෝගය පළකිරීමක් ලෙස මෙම උත්සවය සංවිධානය කළ බවයි.

 

42.31%
17.27%
32.76%