January 28, 2025

ශ්‍රී ලංකා නාවික හමුදාව ඩෙල්ෆ්ට් දූපත ආසන්නයේදී ඉන්දීය ධීවරයන් පස්දෙනකුට තුවාල සිදුවන අයුරින් වෙඩිතැබීමේ සිද්ධියක් ඉන්දීය රජය දැඩිව විවේචනය කර ඇතයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් සේවය වාර්තා කර තිබේ.

අද අලුයම සිදුවූ මෙම සිද්ධියෙන් අනතුරුව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ වැඩබලන මහකොමසාරිස්වරයා කැඳවා වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අප්‍රසාදය පළකර ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.

“ධිවර යාත්‍රාවේ සිටි ධීවරයින් 13 දෙනාගෙන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා මේ වනවිට යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා. තවත් ධීවරයින් තිදෙනෙකු සුළු තුවාල ලබා ප්‍රතිකාර ලබා තිබේ” යනුවෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ජනමාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබේ.

ඉන්දීය විදේශ අමාත්‍යාංශය පවසා ඇත්තේ, යාපනයේ ඉන්දීය කොන්සල් කාර්යාල නිලධාරීන් ද තුවාල ලැබූ ධීවරයින්ගේ සුවදුක් විමසා බැලීම සඳහා රෝහලට ගිය බව සහ ධීවරයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට හැකි සෑම ආධාරයක්ම ලබාදෙන බවයි.

“කොළඹ පිහිටි අපගේ මහකොමසාරිස් කාර්යාලය ද ශ්‍රී ලංකා රජයේ විදේශ කටයුතු අමාත්‍යාංශයට මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර ඇත” යනුවෙන් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

එමෙන්ම ඉන්දියාවේ දීර්ඝ කාලීන ප්‍රතිපත්තිය නැවත අවධාරණය කරමින් එරට විදේශ අමාත්‍යාංශය පවසා ඇත්තේ, ජීවන මාර්ග පිළිබඳ අවධානය යොමුකරමින් ධීවරයින්ට අදාළ ගැටළු මානුෂීය ආකාරයකින් සලකා බැලීමේ අවශ්‍යතාවක් පවතින බවයි.

“කිසිම තත්වයක් යටතේ බලය යෙදවීම පිළිගත නොහැකියි. මේ සම්බන්ධයෙන් රජයන් දෙක අතර පවතින අවබෝධය දැඩි ලෙස පිළිපැදිය යුතුයි.” එම නිවේදනයේ දැක්වේ.

ධීවර ප්‍රශ්නය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතාවයේ මතභේදාත්මක ලක්ෂයක් වන අතර, ශ්‍රී ලංකා මුහුදු සීමාවට නීතිවිරෝධී ලෙස ඇතුළු වූ බව කියන සිද්ධීන් කිහිපයකදී ලංකා නාවික හමුදාව විසින් පෝක් සමුද්‍ර සන්ධියේදී ඉන්දීය ධීවරයින්ට වෙඩි තැබීම් සහ ඔවුන්ගේ බෝට්ටු අත්පත් කරගැනීම පවා සිදුව ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් සේවය වාර්තා කර තිබේ.

තමිල්නාඩුව ශ්‍රී ලංකාවෙන් වෙන්කරන පටු ජල තීරයක් වන පෝක් සමුද්‍ර සන්ධිය දෙරටේම ධීවරයන් සඳහා මත්ස්‍යයන් බහුල කලාපයක් බව ද එම පුවත් සේවය වාර්තා කර ඇත.