January 28, 2025

ශ්‍රී ලාංකීය විශ්වවිද්‍යාල ලෝක ශ්‍රේණිගත කිරීම් දර්ශකවල ඉහළට ඔසවා තැබීම හා අන්තර්ජාතිකකරණය උදෙසා චීන විශ්වවිද්‍යාල සමඟ උසස් අධ්‍යාපනික සහයෝගිතාවයන් වර්ධනය කිරීමේ අරමුණ පෙරදැරිව මෙරට විශ්වවිද්‍යාල හා විදේශීය විශ්වවිද්‍යාල සමඟ අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපත් කළ යෝජනා කිහිපයක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

ඒ අනුව පහත ගිවිසුම්වලට එළඹීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

* අධ්‍යාපන සහ පර්යේෂණ පුහුණු වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම, සංවර්ධනය කිරීම සහ ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම, ඒකාබද්ධව වැඩමුළු සම්මන්ත්‍රණ සංවිධානය කිරීම ඇතුළු අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල අධ්‍යාපන වැඩසටහන් පැවැත්වීම අරමුණු කර ගනිමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා මහජන චීන සමූහාණ්ඩුවේ වූහාන් ක්‍රීඩා විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම.

* උසස් අධ්‍යාපනය, විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම, උසස් අධ්‍යාපන විද්‍යාත්මක පර්යේෂණ සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් සම්බන්ධ තොරතුරු, අධ්‍යයන කාර්යමණ්ඩල, පර්යේෂකයින් හා ශිෂ්‍යයින් හුවමාරුව සහ ඒකාබද්ධ පර්යේෂණ ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා ජපානයේ අයිසු විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම.

* ඒකාබද්ධ පර්යේෂණ, අධ්‍යාපන හා පුහුණු වැඩසටහන් සංවර්ධනය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම මෙන්ම, ශිෂ්‍ය හා අධ්‍යයන කාර්යමණ්ඩල හුවමාරු වැඩසටහන්, ඒකාබද්ධ වැඩමුළු සහ පුහුණු සැසි පැවැත්වීම, ප්‍රකාශන හුවමාරු කර ගැනීම අරමුණු කර ගනිමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා නෝර්වේ ඇග්ඩර් විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම.

* අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ සැලසෙන කෙටිකාලීන පුහුණු පාඨමාලා හා ව්‍යාපෘති හඳුනා ගැනීමේ අරමුණින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා ඕස්ට්‍රේලියාවේ ඩීකින් විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම.

* අන්‍යෝන්‍ය අවශ්‍යතා සහ ප්‍රතිලාභ මත පදනම්ව, පශ්චාත් උපාධි වැඩසටහන්වල සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණ සහිතව සම්මන්ත්‍රණ සහ ශාස්ත්‍රීය රැස්වීම්වලට සහභාගි වීම, අධ්‍යයන තොරතුරු සහ අනෙකුත් තොරතුරු හුවමාරු කර ගැනීම ආදිය අරමුණු කර ගනිමින් මොරටුව විශ්වවිද්‍යාලය හා චීනයේ ලින්යී විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම.

* පර්යේෂණ සහ අධ්‍යාපනික වැඩසටහන්වලට අදාළ ඉගැන්වීම්, ඉගෙනුම් ද්‍රව්‍ය සහ අනෙකුත් අදාළ සාහිත්‍ය තොරතුරු හුවමාරු කර ගැනීම, අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන ක්ෂේත්‍රයන්හි කෙටිකාලීන අඛණ්ඩ අධ්‍යාපනික වැඩසටහන්, සම්මන්ත්‍රණ හෝ වැඩමුළු ඒකාබද්ධව සංවිධාන කිරීම ආදී වූ වැඩසටහන් පැවැත්වීම අරමුණු කර ගනිමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා ඉන්දියාවේ මහත්මා ගාන්ධි වෛද්‍ය විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම.

* ප්‍රථම උපාධි, පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි ඇතුළුව ඒකාබද්ධ පර්යේෂණ සුපරීක්ෂණය, ඉගැන්වීම්, පුහුණු, පර්යේෂණ හා නවෝත්පාදන යන සහයෝගිතා ක්ෂේත්‍රයන්හි සීමිත කාලසීමාවක් සඳහා ශිෂ්‍ය, අධ්‍යයන කාර්යමණ්ඩල හා පර්යේෂකයින් හුවමාරුවට පහසුකම් සැලසීම, පරිවාස කථිකාර්යවරුන් සඳහා සේවාරම්භක පුහුණු වැඩසටහන් පැවැත්වීම ආදිය අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය හා චීනයේ ෂැන්ඩොන්ග් විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම.

* පර්යේෂණ සහයෝගිතා වැඩසටහන්, පීඨ අධ්‍යයන කාර්යමණ්ඩල හා ශිෂ්‍ය හුවමාරු වැඩසටහන්, විදේශයන්හි අධ්‍යයන අවස්ථා, සායනික අත්දැකීම්, උපදේශාත්මක සහ සංස්කෘතික වැඩසටහන් ආදිය ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් කැලණිය විශ්වවිද්‍යාලය සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ කෝට්ලන්ඩ් හි නිව්යෝර්ක් රාජ්‍ය විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම.

* උපාධි සහ පශ්චාත් උපාධි පාඨමාලා වැඩසටහන් සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කිරීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය සහ ඕස්ට්‍රේලියාවේ රෝයල් මෙල්බර්න් තාක්ෂණ ආයතනය අතර අවබෝධතා ගිවිසුම.

* අධ්‍යාපන සහ ඒකාබද්ධ පර්යේෂණ වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම සහ ඒකාබද්ධව වැඩමුළු හා සම්මන්ත්‍රණ සංවිධාන කිරීම අරමුණු කර ගනිමින් කැලණිය විශ්වවිද්‍යාලය සහ කොරියානු ජනරජයේ ජාතික කොරියානු සමුද්‍රීය හා සාගර විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම.

42.31%
17.27%
32.76%