January 22, 2025

මීට පෙර රුපියල් 76,000 කට අලෙවි වූ ඖෂධයක් රුපියල් 370 කට අලෙවි කිරීම සඳහා නිර්දේශ කර ඇති බවට පළවන වාර්තා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම තහවුරු කර ඇත.

රූපවාහිනී වැඩසටහනකදී අදහස් දක්වමින් වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කියාසිටියේ ඖෂධ මිල සමාලෝචනය කිරීමට පත්කළ කමිටුවක විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් හෘද සැත්කම් සඳහා භාවිත කරන ඖෂධවල මිල විෂමතාව හඳුනාගෙන ඇති බවයි.

එමෙන්ම ඔහු එහිදී පැහැදිළි කළේ, මෙම එන්නත පිළිකා ප්‍රතිකාර සඳහා භාවිත කළ එකක් නොවන බව සහ එය හෘද සැත්කම් වලදී භාවිත කළ එකක් බවයි.

“අපිට ටෙන්ඩරයක් ලැබෙනකොට අපි දැක්කා එන්නතකට රුපියල් 50,000ක් විතර සඳහන් කරලා තියෙනවා. එහිදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සමාලෝචන කමිටුවේ විශේෂඥ වෛද්‍යවරයකු අසාමාන්‍ය මිල වෙනසක් සොයාගත් අතර ඒ හේතුවෙන් ඔහු ටෙන්ඩරය අවලංගු කිරීමට උපදෙස් දුන්නා” යැයි වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පැවසීය.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, මේ සම්බන්ධයෙන් කළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වූයේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් මිල පාලනයන් පනවා නොතිබූ 2018 වසරේදී එම ඖෂධයේ මිල රුපියල් 76,000 ක් වූ බවයි.

“ඒ නිසා ආනයනකරු 2018 දී දීලා තිබෙන මිල රුපියල් 76,000 යි. කෙසේවෙතත්, සැපයුම්කරුගේ සහතිකය අලුත් කළ යුතු බැවින්, එම මිල දැන් සංශෝධනය කළ යුතුයි. අපි ආනයනකරුට දන්වා සිටියා මිල සමාලෝචනය කර නිසි පරිදි ඖෂධ මිල නියම කරන බව.” ඔහු පැවසීය.

වෛද්‍ය ආනන්ද විජේවික්‍රම වැඩිදුරටත් පැවසුවේ, සිදුකළ සොයාබැලීම්වලින් අනතුරුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් එම ඖෂධයේ සැබෑ මිල රුපියල් 370 ක් ලෙස සඳහන් කළ බවයි.

42.31%
17.27%
32.76%