January 20, 2025

ජාතික ඔලිම්පික් කමිටුවේ (NOC) හිටපු මහලේකම් මැක්ස්වෙල් ද සිල්වාට ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ විසින් පනවන ලද තහනමට ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ ද (OCA) එකඟතාව පළ වී තිබේ.

ආසියානු ඔලිම්පික් කවුන්සිල ආචාර ධර්ම කමිටු සභාපති දෙබේන්ද්‍රනාත් සාරංගි පසුගිය අඟහරුවාදා (14) මැක්ස්වෙල් ද සිල්වා වෙත ලිපියක් යවමින් කියා සිටියේ, ආසියානු ඔලිම්පික් කවුන්සිලය ආශ්‍රිත සියලු ක්‍රියාකාරකම්වලින් ද මාස තුනක කාලයක් සඳහා ඔහුව අත්හිටුවන බවයි.

ආසියානු ඔලිම්පික් කවුන්සිල විධායක මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ මෙම තීරණය මගින් දැනට සේවයෙන් පහකර සිටින ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම්වරයාට එරෙහිව ඇති චෝදනා විසඳීම සඳහා තීරණාත්මක පියවර මාලාවක් දක්වා තිබේ.

ආසියානු ඔලිම්පික් කවුන්සිල විධායක මණ්ඩලය සිය ලිපියෙන් අවධාරණය කර ඇත්තේ ද සිල්වාගේ හැඳුනුම්පත නිල වශයෙන් ඉවත් කර ඇති බවත්, ඔහුට ඉදිරියේදී පැවැත්වීමට නියමිත හාර්බින් ආසියානු ශීත ක්‍රීඩා උළෙලට සහභාගී වීම තහනම් කරන බවත්ය.

ශ්‍රී ලංකා බලධාරීන්ගේ පරීක්ෂණ අවසන් වන තුරු සියලුම ආසියානු ඔලිම්පික් කවුන්සිල කටයුතු සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් සඳහා ද සිල්වාට පනවා
ඇති අත්හිටුවීම දීර්ඝ කිරීමට ද ආසියානු ඔලිම්පික් කවුන්සිලය තීරණය කර ඇත.

ද සිල්වාගේ අත්හිටුවීම නිර්දේශ කළ එහි ආචාර ධර්ම කමිටුවේ පෙර තීරණය සමාලෝචනය කර සළකා බලන ලෙස ආසියානු ඔලිම්පික් කවුන්සිල ආචාර ධර්ම කමිටු සභාපතිවරයා ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක මණ්ඩලයට නියෝග කර ඇත.

දිගු කලක් සේවය කළ ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම්වරයාට එරෙහිව සිදුවෙමින් පවතින විමර්ශනය අවසන් වන තුරු සියලු ක්‍රියාකාරකම්වලින් ඉවත් වන ලෙසද ලිපියෙන් ඔහු උපදෙස් දී ඇත.

ලිපියේ වඩාත්ම තීරණාත්මක අංගය වන්නේ ඉදිරි ජාතික ඔලිම්පික් කමිටු මැතිවරණය සඳහා ද සිල්වා සම්බන්ධ වුවහොත් එය පිළිනොගැනීමට හෝ අනුමත නොකිරීමට ආසියානු ඔලිම්පික් කවුන්සිලය ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම්වරයාට දන්වා තිබීමයි.

මෙය 2025 මාර්තු මාසයේදී සැලසුම් කර ඇති සහ ද සිල්වා සහ ඔහුගේ සහචරයන් විසින් මෙහෙයවනු ලබන කඩිමුඩියේ සැලසුම් කර ඇති වාර්ෂික මහා සභා රැස්වීම අවහිර කිරීම සඳහා ගත් පියවරක් ලෙස විශ්ලේෂකයන් විසින් සළකනු ලැබේ.

ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයාට සහ ආසියානු ඔලිම්පික් කවුන්සිලය වෙත ද සිල්වා පාර්ශ්වයෙන් යවන ලද ලිපියක් මගින් දන්වා තිබුණේ ආචාර ධර්ම කමිටුවේ නිර්දේශය අවලංගු කර ඔවුන් කැමති සභාපතිවරයකු තෝරා පත් කර ගැනීම ඇතුළත් වේ.

අනාගත ආසියානු ක්‍රීඩා උළෙල සහ ඒ හා සමාන අන්තර්ජාතික තරඟ සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සූදානම් බව සහතික කිරීම සඳහා ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් සභාපතිවරයා සමඟ කටයුතු කරන බව ආසියානු ඔලිම්පික් කවුන්සිල ලිපියෙන් තහවුරු කර ඇත.

සාරංගි විසින් සිය ලිපිය අවසන් කර ඇත්තේ, ද සිල්වා සම්බන්ධයෙන් ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ තීරණ ඉක්මනින් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට (IOC) සහ ජාතික ඔලිම්පික් කමිටු විධායක මණ්ඩලයට නිල වශයෙන් දැනුම් දෙන බවයි.

42.31%
17.27%
32.76%