January 20, 2025

රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය මැන බැලීමට පොලිසිය විසින් බහුලව භාවිත කරන බ්‍රෙත්ලයිසර් පරීක්ෂණ මගින් රුධිරයේ සීනි අධික පුද්ගලයන් සඳහා වැරදි ප්‍රතිඵල ලබාදිය හැකි බවත්, ඇල්කොහොල් සඳහා ව්‍යාජ ලෙස ධණාත්මක වීම් පෙන්විය හැකි බවත් වෛද්‍ය නිලධාරීහු අනතුරු අඟවති.

මෙමගින් යම් කිසි පුද්ගලයකු මත්පැන් පානය කර නොමැති වුවද, ඒ පිළිබඳ සැකයක් ඇති විය හැකි බව ද ඔවුහු පෙන්වාදෙති.

එහි ප්‍රතිඵලයක් ලෙස, බ්‍රෙත්ලයිසර් පරීක්ෂණයකදී එම යන්ත්‍රයෙන් ලබාදෙන ව්‍යාජ ධණාත්මක ප්‍රතිපලයක් එම පුද්ගලයා මත්පැන් පානය කර නොතිබුණද, අත්අඩංගුවට ගැනීම්, දඩ මුදල් පැනවීම හෝ රියදුරු බලපත්‍ර අත්හිටුවීමට හේතු විය හැකියි.

මෙය දියවැඩියා රෝගියකුට සැලකිය යුතු පෞද්ගලික සහ වෘත්තීය ගැටළු ඇති කළ හැකි බව වෛද්‍ය විශේෂඥයෝ පෙන්වාදෙති.

ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ, රිය පැදවීම සම්බන්ධයෙන් සාවද්‍ය චෝදනා එල්ල කිරීම යම් පුද්ගලයකුට මානසික බලපෑමක් හෝ පුද්ගලයෙකුගේ කීර්ති නාමයට බලපෑම් ඇති කළ හැකි බවයි.

වෛද්‍ය සමන්ත ජයසිංහ ‘සන්ඩේ ටයිම්ස්’ වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ “බ්‍රෙතලයිසර් නිර්මාණය කර ඇත්තේ මධ්‍යසාර හඳුනා ගැනීමටයි, නමුත් දරුණු දියවැඩියා අවස්ථාවලදී, දියවැඩියා කීටොඇසිඩෝසිස් නම් තත්වයක් සංකූලතා ඇති කළ හැකියි. මෙම තත්වය තුළ, ශරීරයට ශක්තිය සඳහා සීනි භාවිතා කිරීමට නොහැකි වන අතර ඒ වෙනුවට මේදය බිඳ දමයි. එහි අතුරු නිෂ්පාදනයක් ලෙස කීටෝන ශරීරය මගින් නිපදවයි. මෙම කීටෝන දින 30 ක් දක්වා මුත්‍රා හෝ රුධිරයේ පැවතිය හැකි අතර ඇසිටෝන් ලෙස හඳුන්වන ඇල්කොහොල්වලට සමාන සුවඳක් එහි ඇත.මෙම තත්ත්වය ඇති අයෙකු සමඟ කතාකරන විට, කීටෝනවල සුවඳ මත්පැන් ලෙස වරදවා වටහාගත හැකියි.” යනුවෙනි.

ඔහු තවදුරටත් පැහැදිලි කළේ, “එවැනි පුද්ගලයකු බ්‍රෙත්ලයිසර් යන්ත්‍රයක් භාවිතා කරන්නේ නම්, එය ව්‍යාජ ධණාත්මක වීමට හේතු විය හැකියි. මෙම අවස්ථාවලදී එවැනි පරීක්ෂණවල ප්‍රතිඵල විශ්වාස කළ නොහැකි බැවින්, ඇල්කොහොල් පරීක්ෂාව තහවුරු කිරීම සඳහා රුධිර පරීක්ෂණයක් පැවැත්වීම මම නිර්දේශ කරනවා. එවැනි සෞඛ්‍ය තත්ත්වයන් ඇති පුද්ගලයන් සාවද්‍ය චෝදනාවලින් වැළකීම සඳහා පොලිසිය ළඟම ඇති රජයේ රෝහලට මත්පැන් පරීක්‍ෂණයක් සඳහා රැගෙන යා යුතුයි.”

”කෙසේවෙතත්, පොලිසිය සාමාන්‍යයෙන් එවැනි තීරණයක් ගැනීම සඳහා මත්වීම සම්බන්ධයෙන් පෙන්නුම් කෙරෙන ශරීර ලක්ෂණ මත කටයුතු කරන අතර සෑම සැකසහිත අවස්ථාවකදීම රුධිර පරීක්ෂණ භාවිතා කරන්නේ නැහැ. මීට අමතරව, ඇතැම් මධ්‍යසාර අඩංගු මුඛය සේදීම් දියරවලින් පවා බ්‍රෙත්ලයිසර් පරීක්ෂණයකදී ව්‍යාජ ප්‍රතිපල පෙන්නුම් කළ හැකියි, ”වෛද්‍ය ජයසිංහ වැඩිදුරටත් පෙන්වාදෙයි.

42.31%
17.27%
32.76%