January 19, 2025

ලංකාව නූතන රටක් බවට පත්වීමෙන් පසු 2022 මුල් කාර්තුවේ රට බංකොලොත් තත්වයකට පත්වීම ආශ්‍රයෙන් ඇතිවූ ගෙවුම් ශේෂ අර්බුදය එම දීර්ග කාලය තුළ රටට මුහුණ දෙන්නට සිදුවු ලොකු හා බිහිසුණු අර්බුද අතර ප්‍රමුඛ අර්බුදයක් ලෙස සැලකිය හැකිය.එම අර්බුදයෙන් ලංකාව ගලවා ගත් වීරයා ලෙස ඉතිහාසයට එකතුවී සිටින්නේ රනිල් වික්‍රමසිංහය.එම අර්බුදය විසින් බලයේ සිටි ඉතා බලවත් ආණ්ඩුවක් අර්බුදයට යවා පාර්ලිමේන්තුවේ එක අසුනකට පමණක් සීමාවී සිටි රනිල් වික්‍රමසිංහ රටේ පාලකයා බවට පත් කළේය. ඔහු පාලන බලය බාරගත්තේ රාජ්‍යය අරාජිකත්වයෙන් ගිනි ගෙන දැවෙමින් තිබුණ අවස්තාවකදී ය. ඒ වන විට රජයේ දේශපාලකයන් සීයයකට වැඩි පිරිසකගේ ගෙවල් ගිනි තබා විනාශ කර තිබුණ අතර රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික නිවස ද ගිනි තබා තිබුණි. පොලීසිය, ආරක්ෂක හමුදාවන්ද තමන් වෙත පැවරී තිබූ රාජකාරි වගකීම් නිසියාකරව ඉටු නොකරන තත්වයක්කට පත්ව තිබුණි. ඔහු බලය අතට ගත්තේ සාමාන්‍යයෙන් වෙනත් කිසිවකුත් බල අතට ගැනීමට හිතන්නේවත් නැති විශේෂ හා බිහිසුණු අවස්ථාවකදීය.එය ඔහු ( රනිල්)අසාමාන්‍ය තරමේ නිර්භීත කමක් පෙන්නුම් කල විශේෂ අවස්තාවක් ලෙසද සැලකිය හැකිය.ඔහු ලංකාවේ රාජ්‍යය ගිලගනිමින් තිබූ අරාජකත්වය පාලනය කලේ කිසිදු ජීවිත හානියක් සිදු නොවන ආකාරයටය.ඉන්පසු ඔහුගේ ලංකාව බංකොලොත් භාවයෙන් මුදාගැනීමේ කතාවට ලැබෙනුයේද ඉතා වර්ණවත් හා අසම සම තත්වයකි.බංකොලොත් භාවයට පත් වෙනත් මොනම රටක් වත් ලංකාව තරම් වේගයකින් එම තත්වය ජයගෙන නැත.මීට පෙර අවස්තා දෙකකදී පෙන්වාදී තිබෙන පරිදි ඇමරිකන් රාජ්‍ය දෙපාර්ත මේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු බාර සහකාර ලේකම්වරයෙකු වූ වෝටර් ලූ එම විෂයේදී ලංකාව හඳුන්වා තිබෙනුයේ” විශිෂ්ටතම යළි පැමිණීම “වශයෙනි.

රනිල් අත්පත් කරගත් එම සුවිශේෂ කාර්‍ය සාධනයන් ගෙන් පමණක් වුවත් පැවති ජනාධිපතිවරණය ජයගැනීමට හැකිවනු ඇතැයි රනිල් පමණක් නොව මා වැනි ඔහුගේ ආධාර කරුවන්ද විස්වාස කළේය.රටේ බංකොලොත් භාවය ජය ගැනීමේ සාධකයට ලැබෙන වැදගත් කම විශාල ප්‍රමාණයකට හීන කරන සාධකයක් ජන්ද දායකයින් කෙරෙහි බලපා තිබුණු බව රනිල්ට හෝ අපට ඒ අවස්ථාවේදී පෙනුනේ නැත.ලොකු මහජන පිරිසකට රනිල් පෙනුනේ රටේ පවතින අවලස්සන හා දූෂිත දේසපාලන ක්‍රමය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෙනී සිටින නායකයකු වශයෙනි.පරණ අවලස්සන දූෂිත දේශපාලන ක්‍රමය වෙනස් කිරීම වෙනුවෙන් පෙනී සිටින නායකයෙකු ගේ ප්‍රතිරූපයක් රනිල්ට නොතිබුණි.එවැනි ප්‍රතිරූපයක් ඇති කරගැනීමට රනිල් උත්සහා කර තිබුනේද නැත.ජනාධිපති ජයවර්ධනගේ පාලන කාලයේදී එම ජනාධිපති අතින් රටේ යහපතට හේතුවන හොඳ දේවල් සිදුවුනා සේම රටේ අයහපතට හේතුවන බොහෝ නරක දේවල්ද සිදු විය.සිදු කර තිබුණු වැරදි අතරින් රට කෙරෙහි විනාශකාරි ප්‍රති ඵල ඇති කිරීමට බලපෑ වැරදි කිහිපයක් මෙසේය.

1. ජනාධිපති නීතියට ඉහලින් තබන ආණ්ඩු ක්‍රමයක් ඇති කිරීම.

2.දෙවැනි ජනාධිපති වරණයට ඉදිරිපත් වීමට ඉඩ නො ලැබෙන ලෙස සිය ප්‍රධාන දේශපාලන ප්‍රති වාදිණියගේ ( සිරිමාවෝ බණ්ඩාරණායක ගේ) ප්‍රජා අයිතිය අහිමි කිරීම(එම වැඩ සටහනට විජේවීරද ජනාධිපති ජයවර්ධනට උපරිම ලෙස ආධාර කළේය.)

3. 1981 යාපනේ දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණයේදී උතුරේ දෙමළ දේශපාලන පක්ෂවලට එම දිස්ත්‍රික් සංවර්ධන සභාවේ බලය හිමිකරගැනීමට ඉඩ දෙනවා වෙනුවට ආණ්ඩු පක්ෂයද එහි බලය අල්ලාගැනීමට තරඟ කිරීම මගින් නොතිබුණු ලොකු අවුලක් ඇති කරගැනීම.

4.ආණ්ඩු පක්ෂයට හයෙන් පහක බලයක් තිබුන පාර්ලිමේන්තුවේ නිල කාලය දූෂිත ජනමත විචාරණයක් මගින් තවත් වසර හයකට දීර්ග කරගැනීම.

5.නිතියට පටහැනිව මන්ත්‍රීවරුන්ට රජය සමග වියාපාර කීරීමට ඉඩ දීම.

6.83 කළු ජූලිය දුර දිග යන්නට ඉඩ නොදී පාලනය නොකිරීම.

7. සාධාරන හේතු නැතිව 83 කළු ජූලිය හේතුවක් කරගනිමින් ජවිපෙ තහනම් කිරීම.

ජනාධිපති ජයවර්ධන විසින් සිදුකරන ලද එම වැරදි වලින් රටට හා දේශපාලන ක්‍රමයට සිදුවූ හානිය විශාලය.ජයවර්ධන පාලනය අවසන් වීමෙන් පසුව හෝ එක්සත් ජාතික පක්ෂය එම වැරදි නිවරදි කර ගත යුතුව තිබූණි.එය කළ යුතුව තිබුණේද ආර්.ප්‍රේමදාස විසින් නොව රනිල් වික්‍රමසිංහ විසිනි.විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නීතියට පටහැනිව රජය සමඟ වියාපාර කිරීමට ඉඩ දීමේ සම්ප්‍රදාය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ භූමිකාව බලවත් ලෙස විකුර්ති කිරීමට හේතුවී තිබුණි.පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් විශාල පිරිසක් රජය සමග වියාපාර කරමින් ( ‍රජයේ කොන්ත්‍රාත් කරුවන් ලෙස,රජයේ බලපත්‍ර ලාභී අලෙවි කරුවන් ලෙස, රජයේ දේපල මිලදී ගන්නන් ලෙස ) සිටියේය.එසේ කිරීම නීතියට පටහැනි බරපතල වරදක් ලෙස සැලකුනේ නැත.එය මන්ත්‍රීවරයෙකුගේ මන්ත්‍රී ධූරය පවා අහිමි කිරීමට හේතුවන නීතියට පටහැනි බරපතල වරදක් බව විග්‍රහ කොට පළමු වරට පෙන්වාදුන්නේ මාය.එම වරද පාර්ලිමේන්තුව විසින් හැකි ඉක්මනින් නිවරදි කල යුතුව තිබුනත් එසේ වූයේ නැත.රනිල් වික්‍රමසිංහද ඒ වෙනුවෙන් කිසිදු ඵලදායි කාර්‍යභාරයක් ඉටු කළේ නැත.ඔහු ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුත් ආර්ථික ප්‍රතිසංස්කරණ වලට බරතබා ක්‍රියා කරන ප්‍රතිපත්තියක් අනුගමනය කළා මිස දේශපාලන ප්‍රතිසංස්කරණවලට අත නොගැසුවේය.මට උදව් කරන පිරිසකගේ විරෝධයට හේතු විය හැකි දේවලට මා අත ගැසිය යුත්තේ ඇයි කියා ඔහු කල්පනා කලා විය හැකිය.ඔහු ගේ එම ආචීර්ණ කල්පික ආකල්පය ඔහු පරණ අවලස්සන දූෂිත ක්‍රමයේ ආරක්ෂකයෙකුගේ පෙනුම ඔහුට ලබා දීමට හේතු විය.ඔහු ගේ ජනාධිපති වරණයේ පරාජය කෙරෙහි එම සාධකය තීරණාත්මක ලෙස බලපෑවේය.ලංකාවේ දක්ෂිනාන්ශික දේශපලන කඳවුර ඇද වැටී තිබෙන ඛේදජනක තත්වයෙන් ගොඩගෙන එය නැවත බලවත් තත්වයකට ගැනීමේ හැකියාවක් දැන්රනිල් වික්‍රමසිංහට නැත.එසේ කල හැක්කේ ලිබරල් වාදි විමුක්ති වාදයක් වෙනුවෙන් පෙනී සිටින අතීතයේ සිදුවූ බරපතල වැරදි නිවරදි කර ගැනීමට උනන්දුවක් දක්වන නායකයෙකුට පමණය.රනිල්ට එවැනි භූමිකාවක් රඟපෑමේ හැකියාවක් නැතත් ඔහු විශ්‍රාම ගොස් සිටිනුයේ විසඳීම ඉතා අපහසු සංකීරණ ප්‍රස්නයක් ලෙස සැලකිය හැකි ගෙවුම් ශේෂ ප්‍රස්නය නිමාකිරීමට ඉතාමත් ශක්තිමත් හා තාර්කික පදනමක් රටට හිමි කර දුන් වීරයෙකු ලෙසිනි.එහෙත් එම වීරයාට ලංකාවේ බිඳ වැටී තිබෙන දක්ෂිනාන්ශික දේශපාලන කඳවුර යළි ගොඩනැගීමේ විමුක්ති දායක කාර්‍යභාරයක් ඉටු කිරීමේ හැකියාවක් නැත.එවැනි කාර්‍යභාරයක් ඉටු කල හැකි වෙනත් විකල්ප නායකයකුගේ ජායාවක් වත් පෙනෙන්ට නැත.එජාප එහි ආරම්භයේදී වත් ලිබරල් දාර්ශනික පදනමක් මත ගොඩනගන ලද වියාපාරයක් නොවීය.එය ආරම්භ කළ නායකයන් දක්ෂිනාන්ශික ධනවතුන් වුවද ලිබරල් වාදීන් නොවීය.එජාපයේ දීර්ග ඉතිහාසය තුළ එකදු ලිබරල් නියාය වාදියෙක් හෝ බිහි කර නැත.ජනාධිපති ජයවර්ධනගේ පාළන කාලයෙන් පසුව එම පක්ෂය නියම ලිබරල් මාවතට යොමු කිරීමට සමත් වී නම් එජාපයේ තත්වය මීට වඩා බොහෝ යහපත් වන්නට ඉඩ තිබුණි. සජිත් ප්‍රේමදාස මුල් කරගෙන එම පක්ෂය තුළ ඇතිවූ බිඳීමද එම කණ්ඩායම ලිබරල් මාවතට යොමු කිරීමක් සිදු නොවීය.රනිල් හා සජිත් අතර ගැටුම වෑසිදායක වූයේ ජේවීපීයටය.රනිල් ගේ ප්‍රධාන සතුරා සජිත් වන විට සජිත් ගේ ප්‍රධාන සතුරා වූයේ රනිල්‍ ය.සම්ප්‍රදායික විපක්ෂයට විපක්ෂයේ ආධිපත්‍ය පවත්වාගෙන යාමට ලැබී තිබුණ ඒකාධිකාරි අයිතිය පවත්වාගෙන යාමට සජිත් අසමත් විය.සීයට හතරකට සීමාවු වියාපාරයක් ඔවුන්ගේ බලයට තිබූ සීමා පසු කරගෙන බලයට පත්වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

දේශපාලන ක්‍රමයේ තිබෙන සමහර වැරදි වලට පැරැන්නන් ට තිබෙන බලවත් සම්බන්ධය නිසා ඔවුන් අතින් ඒවා නිවරදි වීමට තිබෙන පුලුවන් කමක් නැති තරම්‍ ය.එහෙත් ඔවුන් කරන්න කැමති නැති එවැනි ප්‍රතිසංස්කරණ ජේවීපිය විසින් කරනු ඇතැයි සිතිය හැකිය.එවැනි ප්‍රතිසංස්කරණ ගැන ඔවුන්ට ලොකු උද්‍යෝගයක් ඇති බව පෙනෙතත් එම ප්‍රතිසංස්කරණ හරිහැටි කරන්නේ කෙසේද කියා දන්නේ නැති කමේ ප්‍රස්නයක්ද තිබෙන බව පෙනෙන්න්ට තිබේ.ජනාධිපති ක්‍රමය වෙනස් නොකරන්නේ නම් ජනාධිපති නීතියට යටත් තත්වයකට ගෙනා යුතුය.විශ්‍රාම ගිය පසු යහපත් ජීවිතයක් පවත්වාගෙන යාමට තරම් පුද්ගලීක අරමුදල් තිබියදී විශ්‍රාම ගිය ජනාධිපතිවරුන් මහජන මුදලින් නඩත්තු කරන කෑදර හා අවලස්සන ක්‍රමය අහෝසි කළ යුතුය.ජනාධිපති වරුන්ට තිබෙන විශ්‍රාම වැටුප් නැති කිරීම සුදුසු නැත.එහෙත් එම විශ්‍රාම වැටුප්වල තිබෙන අක්‍රමවත් හා දූෂිත බව නැති කල හැකිය.ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වරයා තමන් වෙත පැවරී තිබෙන වගකීම් අතහැර පලාගිය පුද්ගලයෙකි.එවැනි පුද්ගලයෙකුට විශ්‍රාම වැටුප් වැනි වරප්‍රසාද හිමි විය හැක්කේ කෙසේද?ඔහු සම්බන්ධයෙන් අනුගමනය කළ යුත්තේ සේවය අත හැර පලාගිය රාජ්‍යය සේවකයෙකු සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තියයි.ජන්දයෙන් තේරී පත්වන මහජන නියෝජිතයින් වශයෙන් ජනාධිපතිට, ඇමතිවරුන්ට,පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට, පළාත් සභා හා පළාත් පාළන නියෝජිතයින්ට රජය සමග වියාපාර කිරීමට ලැබී තිබෙන නිති විරෝධි අයිතිය අහෝසිකල යුතුය.ඔවුන් නීති විරෝධි ලෙස අත්පත් කරගෙන තිබෙන වියාපාර රාජසන්තක කළ යුතුය.රටේ රූපවාහිනි හා ගුවන් විදුලි ආයතන වැඩි හරියක් ඒ සඳහා බලපත්‍ර ලබාගෙන තිබෙන්නේ අවිධිමත් හා දූෂිත ආකාරයකටය.ඔවුන් බලපත්‍ර ලබා ගෙන ඇත්තේ බලවත් දේසපාලකයන්ට පගාව දීමෙනි.ඒ මුදල් යායුතුව තිබුනේ දේසපාලකයින්ගේ සාක්කුවලට නොව මහා භාණ්ඩාගාරයටය.ලංකාවේ රූපවාහිනි නාලිකා හා සමාජ මාධ්‍ය රටේ පොදු යහපතට හේතු නොවන ඉතාමත් හිතුවක්කාරි ආධිපත්‍යක් ඇති කරගෙන පවත්වාගෙන යමින් තිබේ.ඒ තත්වය වෙනස් විය යුතුය.පොදු යහපතට හේතුවන සියළුම පාර්ශ්ව කරුවන්ගේ විස්වාසයට හා ගෞරවයට හේතුවන ප්‍රතිපත්තිමය රාමුවක් මත සියළු ජනමාධ්‍ය වැඩ කරන තත්වයක් ඇතිකල යුතුය.රජයේ නිල වාහන ලබා දෙන ප්‍රතිපත්තිය ද නැවත බැරෑරුම් ලෙස සලකා බැලිය යුතුය.එම සුඛෝපභෝගී වාහන මහජනයාට ප්‍රදර්ශනය කොට නැවත ඒවා පාවිච්චි කළ නිලධාරීන්ටම ලබා දෙන ප්‍රතිපත්තියක් ප්‍රස්නයට විසදුමක් වන්නේ නැත.විය යුතුව තිබෙන්නේ අධික මිලක් හා අධික ඉන්ධන පරිභෝජන වියදමක් ඇති එම වාහන විකුණා ඒවෙනුවට මිල අඩු හා අඩු ඉන්ධන පරිබෝජනයකින් යුතු හයිබ්‍රිඩ් වැනි වාහන විශේෂයකට මාරුවීමය.රටෙන් සොරාගෙන ඇති ධනය ආපසු ලබාගත හැකිනම් ඉතා වැදගත් වුවද එසේ කිරීම සරල හා පහසු නැත.

පාර්ලිමේන්තු මැතිවරණයේදී ජන්ද දායකයින් පරන සම්ප්‍රදායික පක්ෂවලට ජන්දය දෙනු ඇතැයි සිතිය නොහැකිය.ඒ නිසා ජේවීපිය උපරිම බලයක් හිමිකරගනු ඇතැයිද සිතිය නොහැකිය.පරණ දේශපාලන පක්ෂ කෙරෙහි තිබූ කලකිරීම වඩා අඩු ප්‍රමාණයකට හෝ ජේවීපිය කෙරෙහිද බලපා තිබුණ බව පෙනේ.ජේවීපිය ජනාධිපතිවරණයේදී ජන්ද ලක්ෂ 100 ක් අපේක්ෂා කළේය.එහෙත් ලබාගත හැකිවූයේ ලක්ෂ 56 කි.හිටිය තැන හැටියට ලක්ෂ 56 ක් ගැනීමට හැකිවීමද ලොකු ජයග්‍රහනයකි.සීයට 50 සීමාව පසු කරන්නට නොහැකි වීමද පෙන්නුම් කර තිබෙන ලොකු අඩුවක් ලෙසද සැලකිය හැකිය.මෙතෙක් බලයට පැමිණි කිසිම ජනාධිපතිවරයෙක් සීයට 50 සීමාවට වඩා අඩුවෙන් ජන්ද ලබාගෙන නැත.ජාතික ජන බලවේගය ලබාගත් ප්‍රතිශතය සීයට 42.31 කකි.එම ජන්ද ප්‍රමාණයට ලබාගත හැකි පාර්ලිමේන්තු ආසන සංඛියාව 105 කි.ආසන 113 කක් ගන්නට නම් ලබාගත් ජන්ද ගොඩට අලුතෙන් ජන්ද 429327 ක් එකතු කරගත යුතුය.ආසන සංඛියාව ආසන සංඛියාව 120 ක් බවට පත් කරගන්න නම් අලුත් ජන්ද 804 988 ක් ලබා ගත යුතුය.ආසන 150 ක් ලබාගැනීමට අපේක්ෂා කරන්නේ නම් අලුතෙන් ලබාගත යුතු ජන්ද ප්‍රමාණය 2,414 960 කි.මෙහි ඉදිරිපත් කරතිබෙන සංඛියාලේඛන ප්‍රක්ෂේපණ මගේ නොව නීතිඥ සාගර මනම්පේරිගේය.ජාතික ජන බලවේගය සිටින්නේ ඉතාමත් ශක්තිමත් තැනක නොවෙතත් සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ තිබෙන්නේ ඊටත් වඩා දුර්වල තත්වයක නිසා ජේවීපී ගොඩනගාගෙන තිබෙන දේශපාලන ආධිපත්‍යයට දැනට ඔවුන්ගෙන් ලොකු අභියෝගයක් එල්ල වීමේ හැකියාවක් නැත.රනිල් හදා දී තිබෙන වැල් පාලමේ ගමන් කරනවා හැර ඔවුන්ට තොරාගැනිමට අලුත් මාවතක් ඇති බවද පෙනෙන්නේ නැත.එය ඔවුන්ගේ වාමාංශික නම්බුවට හේතු නොවනු ඇතත් එම ප්‍රතිපත්තිය ඔවුන්ගේ ද රටේ යහපතට හේතුවනු ඇත. විය හැකි දේ චන්ද්‍රිකා මෙන් ජේවීපියද ක්‍රමානුකූලව දක්ෂිනාංශික ව්‍යාපාරයක් බවට පත් වීමය. පාර්ලිමේන්තුව විශාල ප්‍රමාණයකට නවකයින්ගෙන් පිරෙන තත්වයක් ඇති වුවහොත් පාර්ලිමේන්තු නීති හෝ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් නොදන්නා පාර්ලිමේන්තුවක් ඇති විය හැකිය.

(2024 ඔක්තෝබර් 26 වැනිදා වික්ටර් අයිවන් සිය ෆේස්බුක් ගිණුමේ තබා තිබූ සටහන)

42.31%
17.27%
32.76%