January 16, 2025

අධි එන්ජින් ධාරිතාවකින් යුත් යතුරුපැදි සම්බන්ධයෙන් වන නීති පිළිබඳ ශ්‍රී ලංකා පොලිසිය පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

පොලිසිය පවසන්නේ මීට අදාළව විශේෂ රජයේ ගැසට් පත්‍ර දෙකක් ඇති බවයි.

අධි එන්ජින් ධාරිතාවයකින් යුත් යතුරුපැදි සඳහා වන රෙගුලාසි 2012 මැයි 18 දිනැති අංක 1757/32 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ සහ 2013 අප්‍රේල් 11 දිනැති අංක 1758/32 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය යටතේ ඇතුළත් වන බව නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය පවසයි.

මෝටර් රථවාහන පනතේ 19 වැනි වගන්තියට අනුව, ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කර ඇති යතුරුපැදිවල එන්ජින් ධාරිතාව 450cc නොඉක්මවිය යුතු බව පොලිසිය පෙන්වා දෙයි.

කෙසේවෙතත්, 2013 අප්‍රේල් 11 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් 450cc සහ 1001cc අතර එන්ජින් ධාරිතාවක් සහිත යතුරුපැදි ක්‍රීඩා කටයුතු සහ පුහුණු අරමුණු සඳහා පමණක් භාවිත කිරීමට දැඩි කොන්දේසි යටතේ අවසර දී ඇති බව පොලිසිය සඳහන් කළේය.

“එවැනි යතුරුපැදි භාවිත කිරීම සඳහා, ආරක්ෂක අමාත්‍යාංශයෙන් හෝ නාගරික සංවර්ධන අමාත්‍යාංශයෙන් විශේෂ අනුමැතියක් ලබා ගත යුතුය. අනුමත කිරීමේ ක්‍රියාවලිය අතරතුර, අයදුම්කරු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අධිභාරයක් ගෙවා යතුරුපැදිය ලියාපදිංචි කළ යුතුය, ”යනුවෙන් පොලිසිය නිකුත්කළ නිවේදනයේ සඳහන් වේ.

එවැනි යතුරුපැදිය ලියාපදිංචි කිරීමේදී, මෙම යතුරුපැදි පොදු මාර්ගවල භාවිත කළ නොහැකි අතර ධාවන පථවලට පමණක් සීමා වන බවට කොන්දේසියක් ලියාපදිංචි පොතට එකතු කරන බව පොලිසිය වැඩිදුරටත් පවසයි.

42.31%
17.27%
32.76%