January 14, 2025

කුඩා කිරිගරුඬ වැනි සුන්බුන් කොටස් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වෙරළ තීරයට ගොඩගසමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම සිදුවීම වාර්තා වන්නේ දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබූ කළු පැහැ කුඩා බෝල වැනි වර්ගයක් ගොඩගැසීම හේතුවෙන් සිඩ්නි හි වඩාත් ප්‍රසිද්ධ වෙරළ තීර කිහිපයක්ම වසාදැමීමට බලධාරීන්ට මීට පෙර සිදුව තිබූ පසුබිමක් තුළය.

මෙවර ගොඩගසමින් ඇති කුඩා බෝල වැනි දෑ අළු හෝ සුදු වර්ණයෙන් යුතු බව පැවසේ.

ඒවා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බැවින් සංචාරකයන් අතර ජනප්‍රිය සිඩ්නි හි Manly සහ Dee Why ඇතුළු වෙරළ 9 ක් වසාදැමීමට පරිපාලන නිලධාරීන් පියවර ගෙන තිබේ.

බොන්ඩි ඇතුළු වෙරළ තීර 8ක් ඉකුත් ඔක්තෝබර් මාසයේදී දින කිහිපයක් වසාදමා තිබූ අතර වෙරළ තීරයේ කළු පැහැ කුඩා බෝල ගොඩගැසීමෙන් පසු එම වෙරළ තීර පිරිසිදු කිරීමට දැවැන්ත පිරිසිදු කිරීමේ වැඩසටහන් දියත් කරනු ලැබීය.

කෙසේවෙතත් සිඩ්නි බලධාරීන් විසින් කරන ලද පරීක්ෂණ මගින් අනාවරණ වී තිබුණේ ඒවා බොහෝ විට අපද්‍රව්‍ය කාන්දුවක ප්‍රතිඵලයක් විය හැකි බවයි.

සිඩ්නි හි උතුරු වෙරළ නගරාධිපති Sue Heins පවසන්නේ, මෙවර වෙරළ තීරයෙන් හඳුනාගෙන ඇති දෑ කුමක් හෝ දෙයක් විය හැකි බවයි.

“අපි මේ මොහොතේ එය කුමක්දැයි නොදන්නා නමුත් ඒ සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් වනවා” ඇය පවසයි.

“පැහැදිලිවම මේවා කාන්දුවන හෝ යමකින් වැටෙන දෙයක් විය හැකියි. ඒවා පාවෙමින් එහා මෙහා විසිවෙමින් පවතී.” ඇය පෙන්වාදෙයි.

මේ අතර ෆේස්බුක් හි සටහනක් තබමින්, උතුරු වෙරළ කවුන්සිලය කියාසිටියේ නිව් සවුත් වේල්ස් පාරිසරික ආරක්ෂණ ඒජන්සිය විසින් අලුතින් සොයාගන්නා ලද සුන්බුන් පිළිබඳව තමන් දැනුවත් කළ බවයි.

ඒජන්සිය සහ කවුන්සිලය විසින් ඒවා පරීක්ෂා කිරීම සඳහා රැස් කර ඇති බවත්, ප්‍රදේශයේ අනෙකුත් වෙරළ තීරයන් ද පරීක්ෂා කිරීමට සැලසුම් කර ඇති බවත් එහි සඳහන් වේ.

මෙම අපද්‍රව්‍යමය දෑ දුටු ඕනෑම අයෙකු ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා බලධාරීන් සම්බන්ධ කර ගන්නා ලෙස ද සිඩ්නි හි උතුරු වෙරළ කවුන්සිලය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

42.31%
17.27%
32.76%