January 14, 2025

පුද්ගලයන් පිරිසක් විසින් පහරදෙනු ලැබූ තරුණයකු රෝහල්ගත නොකර යක්කල පොලිසියේ සිරමැදිරියේ රඳවා තබාගැනීම ගැන ගම්පහ කොට්ඨාස භාර ⁣ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විසින් විමර්ශනයක් ආරම්භ කරනු ලැබ ඇතැයි පොලිසිය සඳහන් කරයි.

ත්‍රීරෝද රථයක කුලී ගමනක් ගිය භික්ෂුවක විහාරස්ථානයට ගොස් ඇරලවා නිවසට යමින් සිටි තරුණයකුට කොළඹ-මහනුවර පාරේ යක්කල ප්‍රදේශයේදී මාර්ගය හරස් කළ පිරිසක් පහර දී ඇති බවත්, එසේ පහරදුන් පිරිස පසුව තරුණයා අදාළ භික්ෂුව කුලී ගමන ගිය විහාරස්ථානය අසල වත්තකට ඇදගෙන ගොස් නැවත පහරදී ඇති බවත්, තරුණයා මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

තරුණයාට පහරදෙමින් සිටි ස්ථානයට පැමිණි පොලිසිය එම පහරදීම නතර කිරීමට කිසිම උත්සාහයක් දරා නැතැයි ද, පහරදීම අවසන් වූ පසු තරුණයා ත්‍රීරෝද රියක නංවාගෙන පොලිසියට ගෙන ගොස් ඇතැයිද, අසාධ්‍ය තත්ත්වයේ පසුවූ තරුණයා තමා රෝහල්ගත කරන්නැයි බැගෑපත් වෙද්දි, එලෙස රෝහල්ගත නොකර ඔහුට තර්ජනර කර ඇතැයි ද එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වෙයි.

ඔහුට හෙරොයින් දමා රිමාන්ඩ් කරන බවට තර්ජනය කර පොලිස් සිරමැදිරියට දැමූ පසු, එහි සිටි සැකකරුවන් තරුණයාට වතුර පෙවීමට උත්සාහ කරද්දී පොලිසිය එයද නතර කර ඇති බවත්, පසුදින උදෑසන තරුණයාගේ මව පොලිසියට පැමිණ තවත් පිරිසක් හරහා ස්ථානාධිපතිට දැනුම්දුන් පසු, උදේ 10ට පමණ රෝහල්ගත කර ඇති බවත් පැමිණිල්ලේ සඳහන් කර ඇත.

පහරදීම ගැන හෝ තරුණයාට පොලිස් ස්ථානයේදී අමානුෂික ලෙස සැලකීම ගැන යූටියුබ් නාලිකාවක පළවූ පසු වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ නියෝග පරිදි සහ ගම්පහ දිසාබාර නියෝජ්‍ය පොලිස්පතිගේ උපදෙස් පරිදි ගම්පහ කොට්ටාස භාර පොලිස් අධිකාරී විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

තරුණයාට පිරිසක් පහරදීම ඇතුළු සිදුවීම් ගැන යක්කල පොලිස් ස්ථානාධිපතිවරයා ස්ථානීය පරීක්ෂණ කර විමර්ශන ආරම්භ කර ඇත්තේ ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මේ සම්බන්ධයෙන් විමසූ පසුව වේ.

පොලිස් ස්ථානාධිපතිවරුන් උදෑසන පොලිස් සිරමැදිරි පරීක්ෂා කළ යුතු වුවද සිද්ධිය වූ දින පහරකෑමට ලක්වී සිටි තරුණයා රෝහල්ගත කිරීමට ස්ථානාධිපතිවරයා හෝ කටයුතු කර නැත.

තරුණයා රෝහල්ගත කර ඇත්තේ තරුණයාගේ මව පොලිසියට පැමිණ ඇවිටිලි කර තවත් කිහිලදෙනකු ගවා පොලිස් ස්ථානාධිපතිගෙන් ඒ ගැන විමසීමෙන් පසුවීම විශේෂත්වයකි.

42.31%
17.27%
32.76%