January 14, 2025

පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ඇමැති නීතිඥ හර්ෂණ නානායක්කාරගේ නම ඉදිරියෙන් ‘ආචාර්ය’ යෙදුම ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීම සඳහා පාර්ලිමේන්තු නිලධාරීන් කිහිප දෙනෙකු හෙට (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

එලෙස කැඳවා ඇති අය අතර පාර්ලිමේන්තුවේ රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ඉහළ පෙළේ නිලධාරියකු සහ අදාළ කාර්ය මණ්ඩලයේ තවත් කිහිපදෙනෙකු ද සිටින බව වාර්තා වේ.

මෙම කරුණ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීම සඳහා පාර්ලිමේන්තුවේ වැඩබලන සන්නිවේදන අධ්‍යක්ෂවරයා ඇතුළු පුද්ගලයන් කිහිප දෙනෙකු මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණි.

විමර්ශනයේ පියවරක් ලෙස එහි නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ද පාර්ලිමේන්තුවට පැමිණ තිබිණි.

පාර්ලිමේන්තුවේ සභා නායක කාර්යාලයෙන් ලැබුණු ලිපියක සපයන ලද තොරතුරු මත පදනම්ව, ඇමැති නානායක්කාර සම්බන්ධයෙන් ආචාර්ය උපාධිය ඇතුළත් කිරීම සිදුව ඇති බවට ද වාර්තා පළවිය.

පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ වැරදි තොරතුරු ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ඇමැති හර්ෂණ නානායක්කාර දෙසැම්බර් 16 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ගොනු කිරීමෙන් පසුව මෙම විමර්ශනය ආරම්භ කෙරිණි..

 

42.31%
17.27%
32.76%