January 14, 2025

රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතියෙන් ආරක්ෂා කර ඇති මාධ්‍ය නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තහවුරු කරන ලෙස අන්තර්ජාතික ක්ෂමා සංවිධානය, හියුමන් රයිට්ස් වොච් සහ මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුව (CPJ) ඇතුළු සිවිල් සමාජ සංවිධාන 25ක් පමණ ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලා තිබේ.

සිය මැතිවරණ ප්‍රකාශනයේ දක්වා තිබූ පරිදි මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීමට සහ මාධ්‍යවේදීන්ට එරෙහි අතීත අපරාධ සම්බන්ධයෙන් වගවීම අනුගමනය කිරීමට ජාතික ජනතා බලවේගයේ කැපවීම අගය කරන බව එම සිවිල් සමාජ හා සංවිධාන සඳහන් කර ඇත.

2009 දී අවසන් වූ රටේ වසර 26ක සිවිල් යුද්ධය අතරතුර සහ ඉන් පසුව මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය කාර්යාලවලට එල්ල වූ ප්‍රහාර, ඝාතන, පැහැරගැනීම් සහ භෞතික ප්‍රහාර ඇතුළුව, මාධ්‍යයට එරෙහි ප්‍රචණ්ඩත්වය සහ මානව හිමිකම් සහ ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වගවීම සහතික කිරීම සඳහා කඩිනම්, අපක්ෂපාතී සහ විනිවිද පෙනෙන පරීක්ෂණ නැවත විවෘත සිදු කරන ලෙස හෝ යළි ආරම්භ කරන ලෙස ඔවුන් අලුතින් තේරී පත් වූ රජයෙන් ඉල්ලා සිටී.

නීති විරෝධී මරණයක් සම්බන්ධ විමර්ශනට අදාළ එක්සත් ජාතීන්ගේ මිනසෝටා ප්‍රොටෝකෝලය යටතේ දක්වා ඇති කරුණු ඇතුළුව, එම විමර්ශන අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූල විය යුතු බව ඔවුන් සඳහන් කර තිබේ.

“2005 දී මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම් ඝාතනය සම්බන්ධයෙන් නැවත විමර්ශනයක් පැවැත්වීමේ මෑත කාලීන නියෝගය ගැන අපි ප්‍රසාදය පළ කරනවා. 2010 දී බලහත්කාරයෙන් අතුරුදහන් කළමාධ්‍යවේදී සහ කාටූන් ශිල්පී ප්‍රගීත් එක්නැලිගොඩගේ සැක සහිත ඝාතනය සඳහා දීර්ඝ කාලීන නඩු පැවරීම කාලෝචිත හා ඵලදායී අවසානයකට ගෙන එන ලෙස අපි බලධාරීන්ගෙන් තවදුරටත් ඉල්ලා සිටිනන්නේ සියලු අපරාධකරුවන්ට වගවීම සහතික කරමින් සහ එක්නැලිගොඩගේ පවුලට යුක්තිය සහ ඵලදායී පිළියම් ලබා දීම සඳහායි ” යනුවෙන් ඔවුන් තවදුරටත් සඳහන් කර ඇත.

තවද, නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් මාධ්‍යවේදීන්ට සහ දෙමළ ජනතාවට දක්වන සීමාවන් සහ දැඩි සෝදිසි කිරීම් සහ වෙනත් අනවශ්‍ය හිරිහැර හා බිය ගැන්වීම් අවසන් කරන බවට සහතික වන ලෙස එම සංවිධාන රජයෙන් ඉල්ලා ඇත.

“නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් පළිගැනීමක් ලෙස මාධ්‍යවේදීන්ට එරෙහිව පනවා ඇති අපරාධ නඩු ඉල්ලා අස්කර ගැනීමට පහසුකම් සැලසිය යුතුයි. තවද, බලධාරීන් ‘රාජ්‍ය සේවකයන් බිය ගැන්වීම’ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ට එරෙහිව නීතිමය පියවර නොගත යුතුයි” යනුවෙන් ඔවුන් අවධාරණය කර තිබේ.

මේ අතර, මාර්ගගත අන්තර්ගතයන් වාරණය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කරන කොමිසමකට පුළුල් බලතල ලබා දෙන මාර්ගගත ආරක්ෂණ පනත අවලංගු කරන ලෙස ද ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

එමඟින් ප්‍රකාශනයේ නිදහස ඇතුළු මානව හිමිකම් කෙරෙහි බියකරු බලපෑමක් ඇති කරන බව එම සංවිධානවල අදහසයි.

මාධ්‍යවේදීන්ට හිරිහැර කිරීමට හා සිරගත කිරීමට දිගු කලක් තිස්සේ භාවිත කර ඇති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කරන ලෙස ද එම සංවිධාන ඉල්ලා සිටී.

ඒ වෙනුවට අදාළ වැරදි රටේ පවතින අපරාධ නීති රාමුව තුළ විසඳිය යුතු බව ඔවුන්ගේ අදහසයි.

 

42.31%
17.27%
32.76%