January 12, 2025

රත්මලාන ගුවන්තොටුපළ ධාවන පථයේ කෙළවරේ ඇති කොන්ක්‍රීට් තාප්පය ගුවන් යානා ආරක්ෂාවට අනතුරක් වේද යන්න පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

මෙම වාර්තාවට ආරක්ෂක අමාත්‍යාංශයෙන් සහ ජාතික බුද්ධි අංශවලින් දක්වා ඇති තර්ජන තක්සේරුවක් ඇතුළත් වනු ඇත.

එය සිවිල් ගුවන් සේවා ඇමැති බිමල් රත්නායක වෙත භාර දෙන බව නව සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මෑතකදී වැඩ භාරගත් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් එච්. එම්. එස්. කේ. බී. කොටකදෙණිය පවසයි.

දකුණු කොරියාවේ මුවාන් අන්තර්ජාතික ගුවන්තොටුපළ ධාවන පථයේ කෙළවරේ පිහිටි කොන්ක්‍රීට් බාධකයක වැදීමෙන් පසු ගුවන් යානයක් ගිනිගෙන පුපුරා යෑමෙන් පුද්ගලයන් 179 දෙනෙකු මිය ගිය පුවතක් පසුගියදා වාර්තා විය.

එම ඛේදවාචකය උපුටා දක්වමින් ශ්‍රී ලංකා ගුවන් යානා හිමිකරුවන්ගේ සහ ක්‍රියාකරුවන්ගේ සංගමය රත්මලාන ගුවන්තොටුපළේ ‘ස්ථාවර ව්‍යුහයන් නිසා ඇති වන අවදානම් ගැන අවධානය යොමුකිරීමේ හදිසි අවශ්‍යතාව’ පසුගිය සතියේ අවධාරණය කළේය.

එම සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ “ජෙජු ගුවන් අනතුර, ධාවන පථ කෙළවර ඝන, බිඳෙන සුළු නොවන ව්‍යුහයන් තිබීමේ විනාශකාරී ප්‍රතිවිපාක අවධාරණය කරයි. රත්මලාන කොළඹ අන්තර්ජාතික ගුවන්තොටුපළේ, ධාවන පථයේ ගාලු පාරේ කෙළවරේ ඝන කොන්ක්‍රීට් බිත්තියක් ඇත. ජෙජු ගුවන් ඛේදවාචකයට තුඩු දුන් තත්වයන්ට සමානව, ධාවන පථය ඉක්මවා යෑම වැනි අවස්ථාවක දී මෙම බිත්තිය අවදානම් ඇති කරයි.” යනුවෙනි.

මෙම ආරක්ෂක ගැටලුව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම සමඟ වසර ගණනාවකට පෙර සාකච්ඡා කර ඇති බව එම සංගමය පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ ක්‍රියාමාර්ග සඳහා දිගින් දිගටම ඉල්ලීම් කළද, අනතුරුදායක ව්‍යුහය තවමත් පවතින බවයි.

2020 දී, රත්මලාන ගුවන්තොටුපළේ ධාවන පථ 4 අවසානයේ ගාලු පාරට මුහුණලා ඇති මායිම් බිත්තිය ඉවත් කරන ලෙස කළ ඉල්ලීමක් සම්බන්ධයෙන් එවක ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න එවක ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි වෙත ලිපියක් යොමුකර තිබිණි.

VVIP/VIP ගුවන් යානා බලඝණයන් ඒ ආසන්නයේ ස්ථානගත කර ඇති බැවින් එම බිත්තිය ඉවත්කිරීම කිරීම රත්මලාන ගුවන් හමුදා කඳවුරේ පිහිටා ඇති වැදගත් ගුවන් වත්කම් සඳහ ආරක්ෂක අවදානමක් ඇති කරන බව ඔහු පෙන්වා දී ඇත.

කෙසේවෙතත්, සිවිල් ගුවන් යානාවල ආරක්ෂාව සඳහා වගකිව යුතු ආයතනයේ ප්‍රධානියා වන එයාර් වයිස් මාෂල් කොටකදෙණිය පැවසුවේ මෙම කාරණය අවසන් කිරීමට අවශ්‍ය බවයි.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ කණ්ඩායම විමර්ශනය බොහෝ දුරට අවසන් කර ඇති අතර එයට අන්තර්ජාතික රෙගුලාසි සමඟ මෙම බිත්තියේ උසෙහි ගැළපීම වැනි සියලු අදාළ සාධක පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයක් ඇතුළත් වේ.

42.31%
17.27%
32.76%