January 11, 2025

ලුණු හිඟයට පිළියම් යෙදීමේ අරමුණින් මෙරට ලුණු නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා උතුරේ අලිමංකඩ ඇතුළු ලුණු ලේවායන් මේ වසරේ මාර්තු මාසය වන විට සම්පූර්ණයෙන්ම සක්‍රීය කිරීමට සැලසුම් කර ඇති බව ජාතික ලුණු සමාගමේ සභාපති ගයාන් වෙල්ලාල පවසයි.

සභාපතිවරයා ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ, සිවිල් යුද්ධයෙන් පසු අක්‍රියව පවතින සහ තවමත් සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කර නොමැති අලිමංකඩ ඇතුළු උතුරු ප්‍රදේශයේ ලුණු ලේවා නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා සංවර්ධනය කරමින් සිටින බවයි.

2001 දී අලිමංකඩ ලුණු ලේවායේ පරිපාලනය අමාත්‍ය මණ්ඩල තීරණයකින් ජාතික ලුණු සමාගම යටතට පත් වූ අතර, 2009 දී එම ප්‍රදේශය මුදාගැනීමෙන් පසු ලුණු ලේවාය සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයට පවරාගෙන රුපියල් මිලියන 100ක වියදමින් ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර තිබේ.

මේ අතර, 2015 වසරේ එහි දෙවැනි අදියර සඳහා රුපියල් මිලියන 125ක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

කෙසේවෙතත් 2015 සැප්තැම්බර් 21 වැනි දින ගැසට් නිවේදනයක් මගින් ලුණු ලේවාය නැවතත් ජාතික ලුණු සීමා පරිපාලනය වෙත පවරා ඇත.

2018 වසරේ අදියර -1 සහ අදියර-2 වශයෙන් එහි ප්‍රතිසංස්කරණ කටයුතු 95% ක් අවසන් කර ඇත.

වත්මන් ප්‍රතිසංස්කරණයත් සමඟ නිෂ්පාදනය වසරකට ටොන් 20,000ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

42.31%
17.27%
32.76%