January 8, 2025

සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවෙකු වන සලිඳු මල්ෂික ගුණරත්න නොහොත් ‘කුඩු සළිඳු’ නමැත්තා අඛණ්ඩව තුන්වැනි වරටත් පානදුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනීසිටීමට අපොහොසත් වී තිබේ.

අධිකරණයේ විභාග වන 80950/2021 අංකය දරන නඩුවට අදාළව ඔහුට 2024 දෙසැම්බර් 19 දින ඇප ලබාදී තිබිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාල පැවසුවේ, සලිඳු ගුණරත්න නොහොත් කුඩු සළිඳු නමැත්තා අධිකරණය හමුවේ පෙනීනොසිටි බවයි.

කෙසේවෙතත්, අධිකරණය විසින් සැකකරු තවදුරටත් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර ඇති අතර, ඊට අමතරව සැකකරු වෙනුවෙන් ඇපකරුවන් ලෙස පෙනීසිටි පුද්ගලයන්ට ඉදිරි නියමිත දිනට අධිකරණයේ පෙනීසිටින ලෙසට නියෝග කර ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාල වැඩිදුරටත් පැවසීය.

මේ අතර සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ කුඩු සළිඳු නමැති සැකකරුට අදාළ නඩුවේ මීළඟ නඩු විභාගය මැයි 19 වැනිදාට කල්තැබූ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

පසුගිය වසරේ දෙසැම්බර් 19 වැනිදා ඇප ලැබුණු දින සිට අතුරුදන්ව සිටින සැකකරු සොයාගැනීමට විවෘත වරෙන්තුවක් ද නිකුත් කර ඇත.

ඇපකරුවන් ලෙස පෙනී සිටි නමුත් අද දිනයේ අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් එක් ඇපකරුවෙකුට අධිකරණය නොතීසි නිකුත් කර තිබේ.

මීට අමතරව, එළඹෙන මැයි 19 වන දිනට නියමිත මීළඟ නඩු දිනයේදී සියලු ඇපකරුවන්ට පෙනී සිටින ලෙස ද පානදුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

2024 දෙසැම්බර් 19 වැනිදා, සලිඳු ගුණරත්නට ඇප නියම කිරීමෙන් පසු සෑම ඉරිදා දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කර අත්සන් කරන ලෙස අධිකරණය ඔහුට නියෝග කර තිබුණි.

42.31%
17.27%
32.76%