January 8, 2025

ඉන්දීය රජය ශ්‍රී ලංකාවට ලබා දී ඇති අමෙරිකානු ඩොලර් මිලියන 100කට ආසන්න ණය, ප්‍රදාන බවට පරිවර්තනය කර ඇති බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සඳහන් කර ඇත.

කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ජනමාධ්‍යවේදීන් පිරිසක් අමතමින්, ගතවූ 2024 පිළිබඳව අදහස් දැක්වූ මහ කොමසාරිස්වරයා පවසා ඇත්තේ, එය ඉන්දු – ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට යහපත් වසරක් බවයි.

ඉන්දියන් සාගරයේ පිහිටි අසල්වැසි රටවල් දෙක අතර සහයෝගීතාවය වසර ගණනාවක් පුරා පරිණත වෙමින් පැමිණ ඇති බවද ඔහු පෙන්වාදී තිබේ.

2025 වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නිල වශයෙන් ආරාධනා කර ඇති නමුත් එම සංචාරය පිළිබඳ විස්තර මේ මොහොහේ පැහැදිලි කළ නොහැකි බව ද මහකොමසාරිස්වරයා ජනමාධ්‍යවේදීන් හමුවේ පවසා ඇත.

එමෙන්ම මහකොමසාරිස් ජා ප්‍රකාශ කර ඇත්තේ, ශ්‍රී ලංකාවට තවදුරටත් මූල්‍ය ප්‍රදානයන් සඳහා ඉඩක් ලබාදීම වෙනුවෙන් ණය, ප්‍රදානයන් බවට පත්කිරීමට ඉන්දියාව ගත් උපායමාර්ගික තීරණය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සිය නවදිල්ලි සංචාරයේදී විශේෂයෙන් ස්තූති කළ බවයි.

“ශ්‍රී ලංකාවේ සම්පූර්ණ කරන ලද ණය රේඛීය ව්‍යාපෘති හතකට අදාළ ගෙවීම් පියවීම සඳහා ප්‍රදාන ආධාර වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 20.66ක් ලෙස දීර්ඝ කර තිබෙනවා. එමෙන්ම උතුරු පළාතේ කන්කසන්තුරේ වරාය ප්‍රතිසංස්කරණය කිරීමේ තවත් වැදගත් ව්‍යාපෘතියක් සඳහා ඉන්දියාවෙන් ඩොලර් මිලියන 65ක ප්‍රදානයක් සිදු කර තිබෙනවා. මෙයද ණය රේඛාවක් හරහා ක්‍රියාත්මක කිරීමට තිබූ නමුත් දැන් ප්‍රදානයක් හරහා ක්‍රියාත්මක වනු ඇති. මා කලින් සඳහන් කළ මහව -අනුරාධපුර දුම්රිය සංඥා ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 14.9 ක් සමඟින් ඩොලර් මිලියන 100 කට වැඩි ණය ප්‍රමාණයක් ඉන්දියාව විසින් ප්‍රදානයන් බවට පරිවර්තනය කර තිබෙනවා. ජනාධිපතිවරයා ඉන්දීය සංචාරය නිමාකර නැවත පැමිණීමෙන් පසු මෙම ණය, ප්‍රදානයන් බවට පරිවර්තනය කිරීම පිළිබඳව කටයුතු කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී ද අදහස් පළ කෙරුණු බව සන්තෝෂ් ජා ජනමාධ්‍යවේදීන් වෙත පැවසුවේය.

මෙරට ඉන්දීය මහකොමසාරිස්වරයාට අනුව, ශ්‍රී ලංකාවට ඉන්දියාව ප්‍රදානයන් ලෙස ලබා දී ඇති ආධාර මේ වන විට අමෙරිකානු ඩොලර් මිලියන 780 කි.

මෙයින්, නිමකරන ලද ව්‍යාපෘති ඩොලර් මිලියන 390 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති දළ වශයෙන් ඩොලර් මිලියන 211 ක් සහ අපේක්ෂිත ව්‍යාපෘති සඳහා ප්‍රදාන ඩොලර් මිලියන 180 කට ආසන්න වේ.

42.31%
17.27%
32.76%