January 6, 2025

පසුගිය වසරේ වෙඩි තැබීම් 100කට අධික සංඛ්‍යාවක් හේතුවෙන් 61 දෙනෙකු මිය ගොස් 47 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් වාර්තා පෙන්වාදෙයි.

එම වෙඩි තැබීම්වලින් අතිමහත් බහුතරයක් සංවිධානාත්මක අපරාධ කල්ලි අතර ගැටුම්වලට හේතු වී ඇති බව පොලිසිය සඳහන් කරයි.

ප්‍රධාන වශයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් දිගින් දිගටම වෙඩි තැබීම් සිදුවෙමින් පවතී.

පසුගිය වසරේ වාර්තා වූ වෙඩි තැබීම් සිද්ධීන් 103න් 56 ක්ම සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ බව විමර්ශනවලින් අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

එම සිදුවීම්වලින් 45 දෙනෙකුට ජීවිත අහිමි විය.

පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අනෙක් වෙඩි තැබීම් සිද්ධීන් 47 විවිධ හේතු නිසා, ප්‍රධාන වශයෙන් පෞද්ගලික ආරවුල් නිසා සිදු වූ ඒවාය.

2024 වසරේ වාර්තා වූ අවසන් වෙඩි තැබීමේ සිද්ධිය වූයේ දෙසැම්බර් 28 වැනිදා සවස සීදූව, ලියනගේමුල්ල ප්‍රදේශයේ නිවසකට මෝටර් රථයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් විසින් වෙඩි තැබීමෙන් එක් අයෙක් මිය ගොස් දෙදෙනෙකුට තුවාල සිදුවීමයි.

මෙම වෙඩි තැබීමට ගොදුරු වුයේ පියකු සහ ඔහුගේ පුතුන් දෙදෙනාය. ඒ අතරින් එක් පුත්‍රයකු මියගොස් තිබිණි.

අර්ධ වශයෙන් පිළිස්සී ගිය පලා ගිය මෝටර් රථය කටුනායක ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයා ගැනුණා.

2024 දී සිදු වූ වෙඩි තැබීම් අතරින් ප්‍රධාන වන්නේ ජනවාරි 22 වැනි දින දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිටවීමේ දොරටුව අසලදී පස් දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියයි.

අපේ ජනබලය පක්ෂයේ නායක සමන් පෙරේරා ද මියගිය එම පිරිස අතර වේ.

එසේම ජනවාරි මාසයේදීද ගම්පහ මල්වතු හිරිපිටියේ විහාරස්ථානයක භික්ෂූන් වහන්සේ නමක් ද වෙඩි තබා ඝාතනය කර තිබිණි.

ජුලි 8 වැනිදා අතුරුගිරියේ රූපලාවන්‍යාගාරයක් විවෘත කිරීමේ උත්සවයකදී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ‘ක්ලබ් වසන්ත’ ඇතුළු දෙදෙනකු ඝාතනය විය.

වෙඩි වැදීමෙන් ජනප්‍රිය ගායන ශිල්පී කේ.සුජීව ඇතුළු සිව් දෙනෙක් තුවාල ලැබුහ.

ඇතැම් වෙඩි තැබීම් සීසීටීවී කැමරාවල සටහන් වී තිබීම නිසා සිද්ධියට පෙර සහ පසු වෙඩි තැබූ සැකකරුවන්ගේ චලනයන් සහ ඔවුන්ගේ වාහන පිළිබඳ සොයා බැලීමට විමර්ශන නිලධාරීන්ට හැකි වී තිබේ.

වෙඩි තැබීම්වලින් වැඩි ප්‍රමාණයකට සම්බන්ධ පුද්ගලයන් සොයා ගැනීමට සහ අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. මනතුංග අවධාරණය කළේය.

පසුගිය වසරේ වෙඩි තැබීමේ සිද්ධීන් සම්බන්ධයෙන් සැකකරුවන් 50කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගත් බව ඔහු වැඩිදුරටත් පැවසීය.

අවි ආයුධ ද අත්අඩංගුවට ගෙන ඇත.

2024 අවසන් මාස තුන තුළ පමණක් එවැනි වෙඩි තැබීම් සඳහා භාවිත කළ T-56 ප්‍රහාරක රයිෆල් තුනක් සොයා ගෙන ඇති අතර පසුගිය වසරේ ටී 56 ගිනි අවි 20ක් සොයා ගැනීමට පොලිසියට හැකිවී තිබේ.

2024 වසරේ වෙඩි තැබීම් සිද්ධීන් ප්‍රමාණය පෙර වසරට වඩා අඩු වී ඇති බව ඔහු පැවසීය.

2023 දී වෙඩි තැබීම් 120කින් පුද්ගලයින් 54 දෙනෙකු මිය ගොස් 65 දෙනෙකු තුවාල ලබා ඇත.

සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ වෙඩි තැබීම් මැඩලීමට උත්සාහ කිරීම දුෂ්කර වී ඇත්තේ ප්‍රධාන වශයෙන්ම බොහෝ ප්‍රමුඛ පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විදේශයන්හි සිට වෙළඳාම මෙහෙයවන අතරතුර ප්‍රතිවාදීන් ඝාතනය කිරීමට නියෝග කිරීම සහ ඔවුන්ට කප්පම් ගෙවීම ප්‍රතික්ෂේප කරන අයව ඝාතනය කිරීම නිසාය.

තවත් දීර්ඝකාලීන ගැටලුවක් වන්නේ බන්ධනාගාර පද්ධතිය තුළ පවතින දූෂණ හේතුවෙන් ඇතැම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට බන්ධනාගාර තුළ සිට පවා අපරාධ මෙහෙයවීමට හැකි වීමයි.

බන්ධනාගාර පද්ධතියේ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාල ක්‍රියාකාරකම් මැඩලීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක දෙසැම්බර් මස අගදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මහජන ආරක්‍ෂාව, අධිකරණ සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඇමැතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.

බන්ධනාගාර තුළ සිදුවන අක්‍රමිකතාවලට ඇතැම් නිලධාරීන් සම්බන්ධ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඊට සම්බන්ධ ඕනෑම නිලධාරියකුට එරෙහිව සුදුසු නීතිමය ක්‍රියාමාර්ග සමඟ විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන් බවද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසීය.

අපරාධ සිදුකිරීමට භාවිත කළ හැකි ඕනෑම ආයුධයක් සංසරණයෙන් ඉවත් කිරීමට දරන උත්සාහය යටතේ ආරක්ෂක අමාත්‍යාංශය පොදු සමාවක් ප්‍රකාශයට පත් කළේය.

රිවෝල්වර, පිස්තෝල, වෙඩි බෙහෙත් වැනි ගිනිඅවි කිහිපයක් භාරදී ඇතත් අපරාධ කල්ලිවලට සම්බන්ධ ඝාතන රැසකට භාවිත කළ ප්‍රහාරක රයිෆල් භාරදී තිබුණේ නැත.

පසුගිය ඔක්තෝබර් මාසයේදී ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිවේදනය කළේ ප්‍රධාන වශයෙන් යුද්ධය පැවති සමයේ දේශපාලඥයන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට පෞද්ගලික ආරක්ෂාව සඳහා ලබා දී ඇති සියලුම වර්ගයේ බලපත්‍රලාභී ගිනි අවි සහ පතොරම් තාවකාලිකව ආපසු කැඳවන බවය.

වාර්තාවලට අනුව එවැනි ගිනි අවි 1650ක් පමණ නිකුත් කර තිබි ඇත.

ගිනි අවි භාරදීමේ කාලසීමාව ජනවාරි 20 දක්වා දීර්ඝ කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ සහ ප්‍රකාශක කර්නල් නලින් හේරත් සඳහන් කරයි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනතුංග පැවසුවේ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ ඔවුන්ගේ ප්‍රාදේශීය ජාලයන් ඉවත් කිරීමට පොලිසිය කටයුතු කරන බවයි.

නමුත් මෙය පොලිසියට තනිවම කළ හැකි දෙයක් නොවන බවත් නීතියේ ප්‍රමාදය වැනි අනෙකුත් ගැටලු විසඳිය යුතු බවත් ඔහු පැවසීය.

 

42.31%
17.27%
32.76%