December 27, 2024

තමා සහ තම අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය රවටා අවසානයේ නව විදේශ ගමන් බලපත්‍ර 17ක් සාදාගෙන පළාගිය පුද්ගලයෙකු පිළිබඳව මහජන ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල හෙළිකරයි.

නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මාධ්‍ය ආයතනයක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියාසිටියේ පසුගියදා සිය අමාත්‍යාංශයේ සිදු කළ පළමු නිල සංචාරයේදී මෙම සිදුවීම සිදුව ඇති බවයි.

නියෝජ්‍ය අමාත්‍ය වටගල කියාසිටියේ තමන් අමාත්‍යාංශ පරිශ්‍රයට ඇතුළු වන විට අමාත්‍යාංශයේ විවිධ අංශ වෙත තමන් කැඳවාගෙන යෑමට අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයේ ලෙස පෙනීසිටි පුද්ගලයකු කටයුතු කළ බවයි.

නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සංචාරය සම්බන්ධීකරණය කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් තමා එවා ඇති බව එම පුද්ගලයා විසින් අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයට දන්වා ඇත.

“එම අවස්ථාව නිමිත්තෙන් තේ පැන් සංග්‍රහයක් සංවිධානය කර තිබුණා. ඒ පුද්ගලයා එම සංග්‍රහයටත් සහභාගී වුණා.”

නියෝජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ, මෙම පුද්ගලයා තමා යහපත් පුද්ගලයකු සහ විශිෂ්ට නියෝජ්‍ය අමාත්‍යවරයකු ලෙස ප්‍රශංසා කරන හඬපට ජනමාධ්‍ය වෙත ලබාදෙන ලෙස අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයට උපදෙස් දී ඇති බව ද අනාවරණ වී ඇති බවයි.

එම පුද්ගලයා පිටස්තරයෙකු බව අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් කළ සොයාබැලීම්වලදී ඔප්පු වී ඇති අතර, නියෝජ්‍ය අමාත්‍ය වටගල ප්‍රකාශ කරන්නේ, ඔහුගේ ක්‍රියාකලාපය හේතුවෙන් තම කණ්ඩායම එම පුද්ගලයා එම ස්ථානයෙන් ඉවත් කර ඇති බව පසුව අනාවරණය වූ බවයි.

මහජන ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ කෙසේවෙතත් ඒ වන විට එම පුද්ගලයා තමන් උපදෙස් දුන් බව පවසමින් නව විදේශ ගමන් බලපත්‍ර 17 ක් සාදාගෙන අමාත්‍යාංශයෙන් පිටව ගොස් ඇති බවයි.

අදාළ පුද්ගලයා නිශාන්ත නමැත්තකු බව හඳුනාගෙන ඇති බව සඳහන් කරන නියෝජ්‍ය අමාත්‍ය වටගල කියාසිටියේ ඔහු කඩිනමින් අත්අඩංගුවට ගන්නා ලෙස තමන් පොලිසියට උපදෙස් ලබාදුන් බවයි.

42.31%
17.27%
32.76%