December 27, 2024

රජය විසින් සැලසුම් කරන ලද ‍රිළවුන් අල්ලා වන්ද්‍යකරණයට ලක්කිරීමේ උත්සාහයන් අඩාළ වී ඇතැයි වාර්තා වේ.

ගිරිතලේ වන්ධ්‍යකරණ මධ්‍යස්ථානයේ පශු වෛද්‍යවරුන්ගේ හිඟය, ප්‍රවාහන පහසුකම් සහ අනෙකුත් පහසුකම් නොමැතිවීම ඊට හේතුව වන අතර වන්ධ්‍යකරණයෙන් තවත් ගැටලු මතුවන බව ද පරිසරවේදීයෙක් පෙන්වාදෙයි.

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සහ මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ගමගෙදර දිසානායක කමිටු රැස්වීමේදී පවසන්නේ, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පහසුකම් නොමැතිකම හේතුවෙන් අතරමග නතර වී ඇති බවයි.

මාතලේ කෘෂි බෝග සංරක්ෂණ සංගමයේ සභාපති ඩී.එම්.බී.දවුඩසේකර පෙන්වාදෙන්නේ, මෙම ව්‍යාපෘතිය දිගුකාලීන ඵලදායි ව්‍යාපෘතියක් බවත් එය විධිමත් කර ගැටලුව විසඳීමට කටයුතු කළ යුතු බවයි.

මේ අතර ප්‍රමුඛ පෙළේ පරිසරවේදියකු වන නයනක රන්වැල්ල පවසන්නේ, රිළවුන් වන්ද්‍යකරණයට ලක්කිරීමෙන් උවදුර අඩුවීමට හෝ නැවැත්වීමට නොහැකි බවත්, එය තවත් ගැටළු ඇති කළ හැකි බවයි.

“‍රිළවුන් පිරිමි සතෙකු වේවා ගැහැණු සතෙකු වේවා වන්ධ්‍යකරණය කිරීමෙන් ඔවුන්ගේ ආයු කාලය වැඩි වෙනවා. රිළවෙකුගේ ආයු කාලය අවුරුදු දහයක් නම්, වඳභාවයට පත්කිරීමෙන් සත්වයා තවත් වසර දහයක් ජීවත් වනවා. ඔවුන් ආහාර සොයාගෙන යනවා. උන් වැඩි කලක් ජීවත් වුවහොත් තවත් බෝග විනාශ කරනන පුළුවන්. ඒක නිසා ඔවුන් දැනටමත් නිර්මාණය කර ඇති උවදුර වන්ධ්‍යාකරණයෙන් විසඳේවිද?” ඔහු ප්‍රශ්න කරයි.

“මිනිසුන්ට කළ හැකි හොඳම දෙය නම් ඉතිරි වූ ආහාර නිසි ලෙස බැහැර කිරීමයි. මිනිසුන් තම ඉතුරු ආහාර එළිමහනට විසිකරණ නිසා රිළවුන් ආහාර සොයා ගම්වලට පැමිණීමට පුරුදු වී ඉන්නවා. ඉතිරිවන ආහාර ඵලදායී ලෙස බැහැර කිරීමෙන් ඔවුන් ගම්වලට පැමිණීම යම් ප්‍රමාණයකට වළක්වන්න පුළුවන්” ඔහු සඳහන් කරයි.

42.31%
17.27%
32.76%