December 25, 2024

ශ්‍රී ලංකාව මෙරට සංචාරක ක්ෂේත්‍රය ප්‍රකෘතිමත් වීමේ ප්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සූදානම් වෙමින් සිටියි.

ඒ, හෙට දිනයේදී මෙම වසර තුළදී මෙරටට පැමිණි මිලියන 02 සීමාව සම්පූර්ණ කරන සංචාරකයාගේ පැමිණීමත් සමගයි.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය 2018 වසරින් පසුව රටේ වඩාත් ශක්තිමත්ම සංචාරක සමය සැමරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

මෙම මාසයේ පළමු දින 22 තුළ පමණක් සංචාරකයන් 161,383ක් රට තුළට පැමිණීමත් සමඟ දෙසැම්බර් මාසයේදී විදේශීය සංචාරකයන්ගේ පැමිණීම විශාල ලෙස වර්ධනය වී ඇත.

දෙසැම්බර් 22 වැනි දින මෙරටට එක් දිනක් තුළ වාර්තාගත විදේශීය සංචාරකයන් 10,820 ක පිරිසක් පැමිණ තිබේ.

එමෙන්ම දෙසැම්බර් 20-22 දක්වා විදේශීය සංචාරකයන්ගේ දෛනික පැමිණීම් අඛණ්ඩව 10,600 ඉක්මවා ඇත.

ඒ අනුව, මේ වන විට විදේශීය සංචාරකයන්ගේ පැමිණීමේ දෛනික සාමාන්‍යය 7,336 දක්වා වර්ධනය වී තිබේ.

ශීත ඍතුවත් සමග නොවැම්බර් මාසයේ දී විදේශීය සංචාරකයන් 184,168ක් මෙරටට පැමිණ ඇත.

එය වසරින් වසර (YoY) පදනම මත 22%ක වැඩිවීමකි.

වසරින් වසර (YTD) පැමිණීම් මේ වන විට මිලියන 1.96 ඉක්මවා ඇති අතර, ඩොලර් බිලියන 3 ඉක්මවන සංචාරක ආදායම සමඟින් වසර අවසානය වන විට ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීම් මිලියන 2.1 දක්වා ළඟාවීමට වේදිකාව සකසා තිබේ.

2024 ජාතික සංචාරක සම්මාන උළෙලේදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් එම අංශයේ ඔරොත්තු දීමේ හැකියාව සහ වර්ධනය අවධාරණය කළේය.

“කර්මාන්තය 2024 වසරේදී ඉහළ සටහනකින් අවසන් කිරීමට සූදානම්ව සිටින අතර, අමුත්තන්ගේ සංඛ්‍යාව මිලියන 2.1 ක් සහ ආදායම ඩොලර් බිලියන 3 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරේ. හෝටල්වලට කාමර වෙන්කරවා ගැනීමේ අනුපාත නැවත 80% දක්වා ඉහළ යමින් පවතින අතර වසර පහකට ආසන්න කාලයක් තිස්සේ නොතිබූ ප්‍රබෝධමත් මට්ටමක් අපි දකිමු, ”ඔහු පැවැසීය.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් එහිදී වැඩිදුරටත් පැවසුවේ, මෙම සමය හැරවුම් ලක්ෂ්‍යයක් වන අතර ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය සඳහා හොඳම වසර ඉදිරියෙන් තිබෙන බවයි.

ඉන්දියාව දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ විශාලතම මූලාශ්‍ර වෙළඳපොල ලෙස පැවැති අතර, ඉන්දීය සංචාරකයන් 35,131ක් හෝ මුළු පැමිණීමෙන් 22%ක දායකත්වයක් දක්වා තිබේ.

දෙසැම්බර් මාසයේදී මේ දක්වා රුසියානු සංචාරකයන් 22,637ක් මෙරටට පැමිණ ඇති අතර, තුන්වැනි ස්ථානයේ පසුවන බ්‍රිතාන්‍යයෙන් පැමිණ ඇති සංඛ්‍යාව 12,822 කි.

ජර්මනිය සහ ඕස්ට්‍රේලියාව වෙතින් පිළිවෙලින් 9,998 සහ 8,646 පැමිණීම් සමඟ මෙරටට සංචාරකයන්ගේ ඉහළ පැමිණීමක් ඇති රටවල් පහ අතරට පැමිණ තිබේ.

දෙසැම්බර මාසයේදී මෙරටට පැම්ණි සංචාරකයන් අතර වර්ධනයක් පෙන්නුම් කරන අනෙකුත් රටවල් අතර චීනය, අමෙරිකාව, මාලදිවයින, ප්‍රංශය සහ පෝලන්තය ද වේ.

42.31%
17.27%
32.76%