December 24, 2024

මේන්ජර් චතුරස්‍රයේ Nativity Store 1927 සිට ජේසුස් වහන්සේගේ උපන් ස්ථානයට පැමිණෙන ජනතාවට අතින් සාදන ලද ඔලිව් ලී කැටයම් සහ ආගමික ද්‍රව්‍ය අලෙවි කර ඇත. නමුත් ගාසා තීරයේ යුද්ධයේ සෙවනැල්ල යටතේ බෙත්ලෙහෙම දෙවන නත්තල සැමරීමට සූදානම් වන්නේ, සංචාරකයින් නොමැති පසුබිමකය. එහෙයින් Nativity Store සහ අනෙකුත් ව්‍යාපාර තව කොපමණ කාලයක් පවතීද යන්න අවිනිශ්චිත වී තිබේ.

ගාසා තීරයේ යුද්ධය හේතුවෙන් බෙත්ලෙහෙමේ නත්තල් සැමරුම් අඛණ්ඩව දෙවන වසරේදීත් සන්සුන් හා නිහඬ වනු ඇත. මේන්ජර් චතුරශ්‍රයේ යෝධ නත්තල් ගසක් නොමැත, තූර්‍ය වාදක කණ්ඩායම් නැත, විදුලි බල්බ ආලෝකයෙන් තොර සැරසිලි එකක් දෙකක් පමණක් දක්නට ඇත.
හමාස් සංවිධානයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධය මාස 15කට ආසන්න කාලයක් තිස්සේ ඇවිලී ගිය අතර තවමත් එහි අවසානයක් පෙනෙන්නට නැත. නැවත නැවතත් සටන් විරාම උත්සාහයන් ඇනහිට තිබේ.

යුද්ධය ආරම්භ වූ දා සිට ඊශ්‍රායලයේ සහ ඊශ්‍රායලය විසින් අල්ලාගෙන සිටින බටහිර ඉවුරේ සංචාරක ව්‍යාපාරය කඩා වැ⁣ටී වැටී ඇත. ඊශ්‍රායලයේ රැකියා කළ බටහිර ඉවුරේ සිටින පලස්තීනුවන් 150,000 න් වැඩි දෙනෙකුට ඊශ්‍රායලය ඇතුළුවීම තහනම් කිරීමෙන් පසුව, පසුගිය වසර තුළ පලස්තීන ආර්ථිකය 25% කින් හැකිලී ගියේය.

බෙත්ලෙහෙම්හි වාර්ෂික නත්තල් සැමරුම් ආර්මේනියානු, කතෝලික සහ ඕතඩොක්ස් නිකායන් අතර බෙදාහදා ගැනීම සාමාන්‍යයෙන් නගරය ලැබු ආශිර්වාදයකි. සංචාරක ව්‍යාපාරය එහි වාර්ෂික ආදායමෙන් 70% ක පංගුවක් වෙයි. නමුත් මෙම නත්තලේ වීදි හිස් ය.

නගරයේ බොහෝ තානායම් හිස්ය

නගරයට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව 2019 දී වසරකට නරඹන්නන් මිලියන 2 ක් පමණ වූ පූර්ව කොවිඩ් සමයේ සිට 2024 දී නරඹන්නන් 100,000 කට වඩා අඩු සංඛ්‍යාවක් දක්වා පහත වැටී ඇති බව පලස්තීන සංචාරක අමාත්‍යාංශයේ ප්‍රකාශක Jiries Qumsiyeh පැවසීය.

නත්තල් කතාවට අනුව, කිසිදු තානායමක ඉඩක් නොතිබූ නිසා මරියාට ගව මඩුවක දී ජේසු බිළිදා ප්‍රසුත කරන්නට සිදුවිය. අද, බෙත්ලෙහෙමේ හෝටල් කාමර 5,500ක්ම පාහේ හිස්ය.

බෙත්ලෙහෙම් හෝටල් හිමියන්ගේ සංගමයේ ප්‍රධානී එලියාස් අල් අර්ජා පැවසුවේ 2023 මුල් භාගයේදී නගරයේ හෝටල් කාමර 80%ක් පමණ සංචාරකයන්ගෙන් පිරී තිබුණද අද එය 3% දක්වා පහත වැටී ඇති බවයි. ඔහුගේම හෝටලයක් වන බෙත්ලෙහෙම් හෝටලයේදී ඔහු පැවසුවේ 120 දෙනෙකුට වැඩි කාර්ය මණ්ඩලයක් සේවයෙන් පහ කර ඇති අතර සේවකයින් පස් දෙනෙකු පමණක් රඳවා ගෙන ඇති බවයි.

සාම්ප්‍රදායික පලස්තීන හස්ත කර්මාන්තකරුවන්ගේ වැඩපොළ 450කට වඩා ඇති නගරයේ ඒවා අලෙවි කරන සැල් 100ක් පමණ ඇතැයි Qumsiyeh පැවසීය. නත්තල් උදාවට දිනකට පෙර අමුත්තන්ගෙන් පිරී ඉතිරී යා යුතු⁣ නගරය කෝපි සහ තේ අලෙවිකරුවන් දෙතුන් දෙනෙකුට සීමා වී ඇති අතර මේන්ජර් චතුරස්‍රය බොහෝ දුරට හිස්ය. සතියකට පෙර, නගරය අමුත්තන්ගෙන් පිරී ඉතිරී යන විට, කෝපි සහ තේ අලෙවි කරන ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකුට හැර Manger Square බොහෝ දුරට හිස් විය. චතුරශ්‍රයේ ප්‍රධාන වීදියේ ඇති වෙළඳසැල් අටෙන් දෙකක් පමණක් ව්‍යාපාර සඳහා විවෘතව තිබුණි.

යුද්ධය අවසන් වී අවසානයේ සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට පත් වූ දිනෙක බොහෝ පවුල් තවදුරටත් පරම්පරාවෙන් පරම්පරාවට හිමි වූ පලස්තීන උරුමය සහ සංස්කෘතිය පිළිබිඹු කරන භාණ්ඩ නිෂ්පාදනය නොකරනු ඇතැයි Qumsiyeh කනස්සල්ලට පත්ව සිටී.

බොහෝ දෙනෙක් කලාපය සම්පූර්ණයෙන්ම හැර යති. “ආක්‍රමණකාරීත්වයේ ආරම්භයේ සිටම, විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ සේවය කරන අය අතර ඉතා ඉහළ සංක්‍රමණ අනුපාතයක් අපි දැක ඇත්තෙමු,” යනුවෙන් Qumsiyeh පැවසීය.

සතුටක් නැති නත්තලක්

පසුගිය වසර තුළ පවුල් 500 කට ආසන්න සංඛ්‍යාවක් බෙත්ලෙහෙම් හැර ගොස් ඇති බව නගරාධිපති ඇන්ටන් සල්මන් පැවසීය. ඒ නිල පදිංචි වීසා අරගෙන පිටරට ගිය පවුල් පමණයි. තවත් බොහෝ අය තාවකාලික සංචාරක වීසා මත විදේශගත වී නීති විරෝධී ලෙස සේවය කරන අතර ඔවුන් නැවත පැමිණෙන්නේද යන්න පැහැදිලි නැතැයි සල්මාන් පැවසීය.

අවට ගම්මාන ඇතුළුව බෙත්ලෙහෙම් ප්‍රදේශයේ ජනගහනයෙන් අඩක් පමණ සංචාරක ක්ෂේත්‍රයේ හෝ ඊශ්‍රායලයේ රැකියාවල නිරත විය.

බෙත්ලෙහෙම් හි විරැකියා අනුපාතය දළ වශයෙන් 50% ක් බව සල්මාන් පැවසීය. පලස්තීන ආර්ථික අමාත්‍යාංශයට අනුව බටහිර ඉවුර පුරා විරැකියාව 30% ක් පමණ වේ.

නත්තල් උත්සව අවලංගු කිරීම බෙත්ලෙහෙමේ සහ පලස්තීන ප්‍රදේශ පුරා ඇති දුෂ්කර තත්ත්වය කෙරෙහි අවධානය යොමු කිරීමේ එක් ක්‍රමයක් බව සල්මාන් පැවසීය. “මේ වසරේ අපට අවශ්‍ය වන්නේ පලස්තීන ජනතාව තවමත් දුක් විඳිමින් සිටින බවත් ලෝකයේ අනෙක් සියල්ලන්ටම ඇති සතුට ඔවුන්ට නොමැති බවත් ලෝකයට පෙන්වීමටය” සල්මාන් පැවසීය.

විගමනය සහ අඩු උපත් අනුපාතය හේතුවෙන් මේ දශකය තුළ අඩුවෙමින් පවතින ජනගහනය ⁣ශුද්ධ භූමියට තවත් අභියෝගයකි.

කිතුනුවන් ජනගහනයෙන් කුඩා ප්‍රතිශතයකි. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුව ඊශ්‍රායලයේ 182,000 ක්, බටහිර ඉවුරේ සහ ජෙරුසලමේ 50,000 ක් සහ ගාසා තීරයේ 1,300 ක් පමණ කිතුණුවන් වෙසෙති.

ග්‍රීක ඕතඩොක්ස් පල්ලියේ පූජක Issa Thaljieh පියතුමා පැවසුවේ බොහෝ පවුල් මූල්‍යමය වශයෙන් අරගල කරන බවය. ඔවුන්ට කුලී හෝ පාසල් ගාස්තු ගෙවීමට නොහැකි ඔවුන්ට, නත්තල් තෑගි මිලදී ගැනීමට හෝ වෙනත් ආකාරයකින් නිවාඩුව සමරන්න නොහැකි බව පියතුමා පැවසීය.

Thaljieh පැවසුවේ මෙවර ඔහුගේ නත්තල් පණිවිඩයේදී අභියෝග මැද රැඳී සිටීමට බෙත්ලෙහෙමේ සිටින පලස්තීනුවන් දිරිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කළ බවයි.

නිවාඩුවට සතියකට පෙර කම්කරුවන් අතින් ඔප දැමූ විසිතුරු පිත්තල ඉටිපන්දම් රඳවන ඇති හිස් පල්ලිය දෙස බලා “ක්‍රිස්තියානුවන් නොමැති පල්ලියක් පල්ලියක් නොවේ,” ඔහු පැවසීය.

“ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මෙලොව ඉපදෙන විට උපන් ආලෝකය අඳුරෙන් ඔබ්බට ගමන් කරන ආලෝකයයි, ඒ නිසා අපි බලා සිටිය යුතුයි, ඉවසිලිවන්තව සිටිය යුතුයි, බොහෝ යාච්ඤා කළ යුතුයි, ඒ වගේම අපේ පදනම සමඟම සිටිය යුතුයි. බෙත්ලෙහෙමේ ඉන්නේ,” ඔහු පැවසීය.

  • MELANIE LIDMAN විසින් Associated Press වෙත සැපයූ වාර්තාවක් ඇසුරෙන් සකස් කරනු ලැබූ ලිපියකි.
42.31%
17.27%
32.76%