December 18, 2024

සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස ඊයේ පාර්ලිමේන්තුවේදී කළ ඉල්ලීමකට අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද සිය අධ්‍යයන සහතික සියල්ල සභාවට ඉදිරිපත් කළේය.

අමාත්‍ය ජයතිස්ස ඊයේ විපක්ෂ නායකවරයාට අභියෝග කළේ, පාසලට අදාළ අධ්‍යයන සුදුසුකම් මෙන්ම London School of Economics වෙතින් ලබාගත් අධ්‍යාපන සහතිකද ඉදිරිපත් කරන ලෙසයි.

අමාත්‍යවරයාට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව අද පාර්ලිමේන්තුවට කරුණු දැක්වීය.

ප්‍රේමදාස මන්ත්‍රීවරයා තම ශිෂ්‍ය වාර්තා පත්‍රිකා ඉදිරිපත් කරමින් කියාසිටියේ, තමන් ප්‍රාථමික අධ්‍යාපනය කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයෙන් ආරම්භ කර ශාන්ත තෝමස් විද්‍යාලයට ගොස් පසුව කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළුවූ බවයි.

ප්‍රේමදාස මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේ, තමන් 09 ශ්‍රේණියෙන් පසු රට හැර ගිය බැවින් ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනීනොසිටි බවයි.

ඉන් අනතුරුව තමන් එක්සත් රාජධානියේ අධ්‍යාපනය හැදෑරූ බව ප්‍රකාශ කළ ප්‍රේමදාස මන්ත්‍රීවරයා කියාසිටියේ, තමන් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සඳහා පෙනීසිටියේ එක්සත් රාජධානියේ බවයි.

තමා සාමාන්‍ය පෙළ විභාගය සමත් නොවූ බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරමින්, විපක්ෂ නායකවරයා තම එක්සත් රාජධානියේ අධ්‍යාපනයට අදාළ පාසල් අධ්‍යයන ලේඛන ඇතුළු එක්සත් රාජධානියේ සුදුසුකම් ඉදිරිපත් කළේය.

තවද, සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා තමන් උපාධිය හැදෑරූ London School of Economics (LSE) ආයතනයෙන් ලබාගත් උපාධි සහතිකයද ප්‍රදර්ශනය කළේය.

තමා ඇමරිකා එක්සත් ජනපදයේ මේරිලන්ඩ් විශ්වවිද්‍යාල උද්‍යානයේ රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇති බවත්, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය කථිකාචාර්යවරියක ලෙස කටයුතු කළ විවෘත විශ්වවිද්‍යාලයේ උපාධියක් ද හදාරා ඇති බවත් විපක්ෂ නායකවරයා අනාවරණය කළේය.

අවසාන වශයෙන් විපක්ෂ නායකවරයා සිය උප්පැන්න සහතිකයද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

නව පාර්ලිමේන්තුවේ පළමු කථානායකවරයා වූ අශෝක රන්වල ඉල්ලා අස්වීමට හේතු වූ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ අධ්‍යයන සුදුසුකම් පිළිබඳ මෑත කාලීන මතභේදවලින් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ අවධානය යොමුව තිබේ.

42.31%
17.27%
32.76%