December 16, 2024

විදේශගත ශ්‍රමිකයන් සඳහා විදුලි වාහන ආනයනය කිරීමේ රජයේ යෝජනා ක්‍රමය යටතේ සිදුකර ඇති අවභාවිතයන් සැළකිව යුතු මූල්‍ය අලාභයකට තුඩු දෙන බව විශේෂ විගණනයකින් අනාවරණ වී තිබේ.

පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලට අනුව, පසුගියදා එම සභාවට ඉදිරිපත් කරන ලද විගණන වාර්තාව මගින් 2022 මැයි 1 සිට 2023 සැප්තැම්බර් 15 දක්වා ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන යටතේ බලපත්‍ර නිකුත් කිරීම පරීක්ෂා කර ඇත.

එය 2020 සැප්තැම්බර් 22 සහ 2023 ජුනි 30 අතර කාලය තුළ සිදු කරන ලද විදුලි වාහන ආනයන බලපත්‍ර නිකුත් කිරීම ද විමර්ශනය කර තිබේ.

මෙම යෝජනා ක්‍රමය යටතේ නිකුත් කර ඇති සියලුම බලපත්‍ර අවලංගු කර අදාළ පාර්ශ්වකරුවන්ට දැනුම් දෙන ලෙස ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

මීට අමතරව, කැබිනට් අනුමැතිය ලත් කමිටු වාර්තාවේ දක්වා ඇති මූලික ප්‍රතිපත්තිවල මූලධර්ම හතරක් උල්ලංඝනය කරමින් බලපත්‍ර නිකුත් කළ නිලධාරීන්ට එරෙහිව විනය පියවර ගන්නා ලෙස ද වාර්තාවෙන් ඉල්ලා තිබේ.

ආනයනික වාහන 510ක් සඳහා වූ සුඛෝපභෝගී බදු නිදහස් සීමාව රුපියල් මිලියන 6 සිට රුපියල් මිලියන 12 දක්වා වැඩි කිරීමට රජය ගත් තීරණය නිසා රජයට රුපියල් මිලියන 1,380 ඉක්මවන පාඩුවක් සිදුව ඇති බව විගණනය අනාවරණ කරයි.

තවද, වෙනත් පාර්ශ්ව වෙත මාරු කරන ලද වාහන හයක් සඳහා රුපියල් මිලියන 1,280ක බදු ගෙවීම් කර නොමැත.

2020 සැප්තැම්බර් 22 සිට 2023 ජූනි 30 දක්වා කාලය තුළ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් සංක්‍රමණික සේවකයන් සඳහා වාහන බලපත්‍ර 1,077ක් නිකුත් කර ඇති අතර ඉන් බලපත්‍ර 77ක් පසුව අවලංගු කර තිබේ.

කෙසේවෙතත්, විගණනය සඳහා තීරණාත්මක ලිපිගොනු 64ක් ලබා දීමට අමාත්‍යාංශ ලේකම්වරයා අපොහොසත් වී ඇත්තේ වගවීම පිළිබඳ ඇති ගැටලු තවදුරටත් තීව්‍ර කරමිනි.

42.31%
17.27%
32.76%