December 15, 2024

කොළඹින් පිටත ප්‍රදේශවල ආනයනික සහල් කිලෝවක් රුපියල් 220ක උපරිම සිල්ලර මිලට විකිණීමේ අභියෝග පිළිබඳ කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති බී.කේ.රංජිත් කණස්සල්ල පළකර තිබේ.

ඔහු පෙන්වා දෙන්නේ ප්‍රවාහන වියදම් අනුව කොළඹින් පිටත ප්‍රදේශවල නියමිත මිලට සහල් විකිණීමට සිල්ලර වෙළෙන්දන්ට අපහසු වනු ඇති බවයි.

“කොළඹට ආනයනය කරන විටකිලෝග්‍රෑමයක් රුපියල් 220ක් නම්, කොළඹින් පිටතට ප්‍රවාහනය කරන විට මෙම සහල් තොග විකිණීමට නොහැකි ගණනක් වෙනවා,” යනුවෙන් රංජිත් පෙන්වා දෙයි.

විශේෂයෙන්ම ප්‍රවාහනය හා සම්බන්ධ වියදම් ඉහළ යෑම සැලකිල්ලට ගනිමින් රජය කොළඹ සහ පිට පළාත් දෙකෙහිම සහල් සඳහා එකම මිලක් පවත්වාගෙන යන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කරයි.

සහල් ආනයනය කිරීමට හේතු වුයේ සහල් හිඟය වන අතර අමතර බෙදා හැරීමේ වියදම් සඳහා ගණන් බැලීමේදී මිල ගැටලුසහගත බව ඔහු පවසයි.

කෙසේවෙතත්, පිටකොටුව ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ජී.එස්. ඉලමනාදන් පවසන්නේ පනවන ලද උපරිම සිල්ලර මිලෙන් පාඩු නොලබන බවයි.

“සහල් ආනයනයට අවසර දී ඇත්තේ දෙසැම්බර් 20 දක්වා පමණයි. සහල් ගේන්නේ ඉන්දියාවෙන්. කිසිදු පාඩුවකින් තොරව උපරිම සිල්ලර මිලට ආනයනය කර විකිණීමට අපට ඇති හැකියාව ගැන අපට විශ්වාසයි,” යැයි ඉලමනාදන් සඳහන් කරයි.

මේ අතර සහල් ආනයනය සඳහා රේගු බදු ඉහළ ගොස් ඇති බවට කරන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ ප්‍රකාශ කළේ ආරම්භයේ සිටම කිලෝග්‍රෑමයකට රුපියල් 65ක බද්ද අඛණ්ඩව පැවති බවයි.

සහල් ආනයනකරුවන්ගේ සංගම් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව සහල් ආනයනය සඳහා රේගු බදු අනුපාතිකය තීරණය කළ බවත්, ඊට අදාළ සියලු පාර්ශ්වයන් එකඟ වී ඇති බවත් ඔහු පෙන්වා දී තිබේ.

“අපි රුපියල් 65ක තීරුබදු ප්‍රකාශ කළා. සතොස ආයතන සඳහා කිලෝග්‍රෑමයකට රුපියල් 202ක් සහ රුපියල් 207ක් වැනි මිල ගණන්වලට ටෙන්ඩර් ලබාගත්තා. අපි සියලු දෙනාම එකතුවෙලා මේ එකඟතාවට පැමිණි නිසා සහල් ආනයනකරුවන් තීරුබදුවලට එකඟ වුණා.” යනුවෙන් සමරසිංහ ප්‍රකාශ කරයි.

තරඟකාරී මිලට සහල් ආනයනය කිරීමට නොහැකි වූවන් රේගු බද්ද පිළිබඳ කරන පැමිණිලි ඔහු තවදුරටත් ප්‍රතික්ෂේප කරයි.

 

42.31%
17.27%
32.76%