December 12, 2024

වගා විනාශයට පිළියම් ලෙස වඳුරන් වඳභාවයට පත් කිරීමේ නියමු වැඩසටහන අද මාතලේ දී ආරම්භ කර තිබේ.

පශු වෛද්‍යවරුන් කිහිප දෙනෙකුගේ සහයෝගය ලැබී ඇති මෙම වැඩසටහන සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය රුපියල් මිලියන 4.5ක් වෙන් කර ඇත.

ඒ අනුව වඳභාවයට පත් කිරීමට නියමිත වඳුරන් ගිරිතලේ වනජීවී පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානය වෙත ප්‍රවාහනය කර එහිදී ඔවුන් වඳභාවයට පත් කර පසුව වනයට මුදා හැරීමට නියමිතය.

නුදුරු අනාගතයේ දී දිවයින පුරා මෙම වැඩසටහන ව්‍යාප්ත කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

මේ අතර බෝග විනාශ කරන වඳුරන් සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කෘෂිකර්ම ඇමැති කේ.ඩී. ලාල්කාන්ත කියා සිටියේ තමන් අවධාරණය කළේ මෙම උවදුර මැඬලීමේ අවශ්‍යතාව පමණක් බවයි.

වඳුරන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් පරිසරවේදීන් අවධානය යොමු කරන බව සඳහන් කළ ඇමැතිවරයා, තම අභිප්‍රාය වී ඇත්තේ ගොවීන්ගේ ජීවනෝපාය සඳහා ආධාර කිරීම සහ උවදුර මැඩපැවැත්වීම පමණක් බව පැවසීය.

“මම හිතන්නේ පරිසරවේදීන් මේ සංවාදයේ යෙදුණ එක හොඳයි. මේ සම්බන්ධයෙන් රටපුරා දැනුවත් කිරීමට මා අදහස් කළා. දැන් විවිධ පාර්ශ්වයන්ගේ මැදිහත්වීම මත එය ඉටු වී තිබෙනවා. සියලු පාර්ශ්ව එකට එක්ව කඩිනම් විසඳුමක් ලබාදිය යුතුයි. දීර්ඝ කාලීන විසඳුම් ක්‍රියාත්මක කරද්දී මෙම උවදුර නිසා ගොවීන් ගොවිතැන අත්හැර දමා තියෙන්න පුළුවන්” යනුවෙන් ඔහු සඳහන් කළේය.

 

42.31%
17.27%
32.76%