December 8, 2024

නාඩු සහල් කිලෝවක් රුපියල් 225ක තොග මිලටත්, රුපියල් 230ක සිල්ලර මිලටත් පාරිභෝගික ජනතාවට ලබාදීමට අනිවාර්යයෙන් කටයුතු කළයුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක සහල් ව්‍යාපාරිකයන්ට දැනීම් දුන්නේය.

මේ පිළිබඳ ඉදිරි දින දහය තුළ අවධානයෙන් කටයුතු කරමින්, ඊට පටහැනිව කටයුතු කරන සහල් මෝල් හිමියන් සම්බන්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද ජනාධිපතිවරයා පාරිභෝගික අධිකාරියට දැනුම් දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කර සිටියේ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් හා සහල් ව්‍යාපාරිකයන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (07) පැවැති සාකච්ඡාවේදීය.

අපේ රටේ වැඩිම ආයෝජනයක් සිදුකරන්නේ මහාමාර්ග අමාත්‍යාංශයට බවත්, ඉන්පසුව වාරිමාර්ග හා කෘෂිකර්ම ක්ෂේත්‍රයන්ට බවත් පෙන්වාදුන් ජනාධිපතිවරයා වැඩිපුරම සහනාධාර ලබාදීම සිදු කරනු ලබන්නේ ද ගොවි ජනතාවට බව කියාසිටියේය.

වී මිලදී ගැනීම සඳහා ව්‍යාපාරිකයන්ට අඩු පොලී පහසුකම් යටතේ බැංකු ණය ලබා දී ඇති බවද සිහිපත් කළ ජනාධිපතිවරයා, එබැවින් ජනතාවගේ සහල් අයිතියට අත නොතබන ලෙස සහල් ව්‍යාපාරිකයන්ට පැවසීය.

දිනපතා සහල් මිල වෙනස් කිරීම සම්බන්ධව මෙහිදී සහල් මෝල් හිමියන්ගෙන් ප්‍රශ්න කළ ජනාධිපතිවරයා දිනපතා සහල් මෝල්වලින් පිටවන සහල් කිලෝ ප්‍රමාණය ගණනය කිරීමට ද පාරිභෝගික අධිකාරියට උපදෙස් දුන්නේය.

දිනපතා සහල් මෝල්වලින් පිටවන සහල් ප්‍රමාණය ගණනය කිරීමට පාරිභෝගික අධිකාරියේ නිලධාරියෙක් යොදවන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

එසේම සහල් සම්බන්ධ ගැටලුව රජය සමඟ සුහදව විසඳා ගැනීමට කටයුතු කරන ලෙස ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ව්‍යාපාරිකයන්ට ආරාධනා කළේය.

සංශෝධනය කරන ලද සහල් මිලද ජනාධිපතිවරයා මෙහිදී දැනුම්දුන්නේය.

නාඩු සහල් කිලෝවක තොග මිල රුපියල් 225යි. සිල්ලර මිල රුපියල් 230යි.
සුදු කැකුළු කිලෝවක තොග මිල රුපියල් 215යි . සිල්ලර මිල 220යි.
ආනයනික නාඩු සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් මිල 220 යි
සම්බා කිලෝවක තොග මිල රුපියල් 235යි. සිල්ලර මිල රුපියල් 240යි.
කීරි සම්බා කිලෝවක තොග මිල රුපියල් 255 යි. සිල්ලර මිල රුපියල් 260යි.

 

 

42.31%
17.27%
32.76%